බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලා හා අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු සමග තවත් කණ්ඩායමක් විසින් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබලකාරී තත්වයක් ඇති කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගැටලුව සම්බන්ධයෙන් පසුගිය සතියේ භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාවත්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයත්, අධ්‍යාපන අමාත්‍යවරයා හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
එහි දී පාලක සභාව විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත පියවර පිළිබඳව දැනුම්වත් කළ අතර එම විශ්වවිද්‍යාලයේ කටයුතු සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීම සඳහා පාලක සභාවට බලය පැවරී ඇති බවද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් දැනුම් දෙනු ලැබුවා.
ඒ අනුව හැකි ආසන්නම දිනයකදී එම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසත් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට නොමැති බවත් පැවති සාකච්ඡාවේ දී පාලක සභාව වෙත වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.
පාලක සභාව දැනුම් දුන්නේ සති අන්තයේ පිරිත් සජ්ඣායනා කර අනතුරු ව 27 වැනි සඳුදා සිට අදියරයන් යටතේ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දැනුම්දී තිබෙනවා.
ශිෂ්‍යයන් කීප දෙනෙකුගේ පන්ති තහනම් කිරීම සිදු කර ඇත්තේ පාලක සභාව මගින් වන අතර ඒ අනුව පාලක සභාව මගින් ගනු ලබන තීරණ වෙනස් කිරීමට අමාත්‍යාංශයට බලයක් නොමැති බවත් එම තීරණයේ යම් වෙනසක් සිදු කරයි නම් එය කළ යුත්තේ පාලක සභාව මගින් බවත් අමාත්‍යාංශයට ඒ සඳහා කිසිදු මැදිහත්වීමක් සිදු කළ නොහැකි බවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙනවා.
කරුණු එසේ තිබිය දී මෙරට ලක්ෂ 42ක් දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ව කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට කිසිදු පූර්ව දැනුම්වත් කිරීමකින් තොර ව බලහත්කාරයෙන් ඇතුළු වී කලබලකාරී ලෙස හැසිරීම නිසා පොලීසිය විසින් අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණ අදාළ විරෝධතාකරුවන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.