මව පදිංචිව සිටි නිවස ඇයට හොරෙන් දියණිය සහ බෑනා විසින් වෙනත් අයෙකුට බද්දට දීම හේතුවෙන් අධික මිලකට වෙනත් නිවසක් බද්දට ගෙන මවට ලබාදීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
කාන්තාවක් මෙලෙස තනිවම සිය මහ ගෙදර ජීවත්වී ඇති අතර එම නිවස විශාල ආර්ථික වටිනාකමකින් යුත් නිවසක් බව පැවසේ. ඇයට දූ දරුවන් කිහිපදෙනකු සිටින අතර ඒ සියලුම දෙනා රජයේ සහ පෞද්ගලික අංශයේ උසස් රැකියාවල නිරත වෙති.
වැඩිමහල් දියණිය සහ බෑණා මවගේ නිවසට නිතර එන යන අතර එම භූමියේ ආර්ථික වටිනාකම ගැන කල්පනා කර මව තම නිවසට රැගෙන ගොස් එම නිවසින් ආදායමක් ලබාගැනීමට ඔවුහු සැලසුම් කළහ.
කාන්තාව දියණියගේ නිවසේ ටික කලක් ජීවත් වූ අතරතුර දියණිය සහ බෑණා මව සිටි නිවස අලුත්වැඩියා කර කුලී පදනම මත පිරිසකට බදු දුන්හ.
දියණියගේ දරුවන් නවීන පන්නයට හැඩගැසී ඇති අතර ඔවුන්ගේ හැසිරීම් රටාව මිත්තණියට එපා වීම නිසා තම නිවසට රැගෙන යන ලෙස දියණියට සහ බැණාට ඇවිටිලි කළද ඔවුහු එය ගණන් නොගෙන තම කටයුතු කර ගෙන ගියහ.
නිවසේ කිසිවකුත් නැති අවස්ථාවක මෙම කාන්තාව හොර රහසේම පිටත්ව තම නිවසට ගොස් ඇති අතර නිවස ඉබියතුරු අගුළු දමා තිබීම පිළිබඳව අසල්වාසීන්ගෙන් විමසා ඇය සියල්ල හෙළිකරගෙන තිබේ.
කාන්තාව තමන්ට මුහුණදීමට සිදුව ඇති තත්ත්වය ප්‍රදේශයේ වගකිවයුතු නිලධාරියකුට පැමිණිලි කර ඇති අතර එම නිලධාරියා කඩිනමින් දියණිය සහ බැණා සිය කාර්යාලයට කැඳවා සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකර ඇති බවත් මවට නිදහසේ සිය නිවසේ සිටීමට අවශ්‍ය වාතාවරණය ඇති කරන ලෙසට එම නිලධාරියා තරයේ අවවාද කර මව දියණියගේ නිවසට හෝ වෙනත් දරුවකුගේ නිවසට යාම ප්‍රතික්ෂේප කිරීම නිසා වෙනත් නිවසක් ඉහළ මිලකට කුලි පදනම මත ලබාගෙන මව එහි නතර කිරීමට දියණියට හා බෑණාට සිදුව ඇත.
යසන්ත ආරියසේන