නවීන ලෝකයේ මේ වනවිට ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන වැඩසටහන (STEAM Education) හෙවත් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය යන විෂයන්ට එක් වූ සෞන්දර්යාත්මක විෂයන් ද සහිත අධ්‍යාපන ක්‍රමවේදය මාර්තු 31 වැනිදා ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
ඒ තුළින් මෙරට නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක ආරම්භය සනිටුවහන් වනු ඇත.
මේ සම්බන්ධව එක වර පළාත් 9 තුළ සමුළු 59ක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇති බවත් එහි ප්‍රධාන වැඩසටහන කොළඹ නව රඟහලේ පැවැත්වෙන බව ද අමාත්‍යවරයා කීය.
තර්ස්ටන් විද්‍යාලයීය ‘පර්සෙප්ෂන්ස් ‘23 (Perceptions ’23)’ චිත්‍ර ප්‍රදර්ශනයේ චිත්‍ර තරගයේ සහතික හා ත්‍යාග ප්‍රදානෝත්වයට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
එහිදී ඇමතිවරයා කියා සිටියේ පාසල් අධ්‍යාපනයෙන් අතරමග නවතින දරුවන් සියලු දෙනාට වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීමට ඊට අදාළ සියලු ආයතන හා සම්බන්ධීකරණයෙන් ක්‍රියා කරන බවයි.
සෑම දරුවකුම කුමන හෝ වෘත්තීය සුදුසුකමක් ලබාගත යුතු අතර දෙමාපියන්ගේ වගකීම වන්නේ ද පාසල් අධ්‍යාපනයෙන් අතරමග නතර වන දරුවන් රටට වැඩදායී පුරවැසියන් කිරීම සඳහා ඔවුන් වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට යොමු කිරීම බව අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අධ්‍යාපනයේ දිශානතිය වෙනස් විය යුත්තේ කුසලතා පූර්ණ දිශාවට බවත් ඉදිරියේ දී සිදු කරනු ලබන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය මගින් අපේක්ෂා කරනුයේ ද නිපුණතාවන්ගෙන් හෙබි සමබර දැනුමක් හා මානසික සංවර්ධනයක් ලබා සිටින නිර්මාණකරුවන් බිහි කරගැනීම බවත් ය.
අප දරුවන් අවශ්‍ය දැනුමින් සන්නද්ධ ව සිටින අතර ආකල්ප වෙනස් කළ යුතු ව ඇත්තේ දරුවන්ගේ නොව වැඩිහිටියන්ගේ බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
තොරතුරු තාක්ෂණ විෂයේ ඊළඟ අදියරට ප්‍රවේශ වී කෘත්‍රීම බුද්ධි විෂය ද දරුවන්ට උගන්වමින් නිපුණතාවලින් හෙබි නව නිපැයුම් කරුවන් බිහි කෙරෙන අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස ප්‍රායෝගිකත්වයට නැංවීම සඳහා ආර්ථික අභියෝග රැසක් හමුවේ වුව අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
තවද උසස් පෙළ විභාගය ගැටලුවකින් තොර ව පැවැත්වීමට මෙන් ම පාසල් පෙළපොත් නිල ඇඳුම් ලබා දීම වැනි සුභසාධන සේවා විධිමත් ව හා අඛණ්ඩ ව ම පවත්වාගෙන යාමට ද මනා කළමනාකාරීත්වයක් තුළින් හැකි වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.