අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සෑමකෙනෙකුට ම හිමි වුවත් උද්ඝෝෂණ පවත්වමින් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට විරුද්ධව ආණ්ඩුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා පවසයි.
අද (07) පාර්ලිමේන්තුවේ දී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, ජූලි 9 වනදා රට කඩා වැටුණා නම් අද මෙලෙස රට ගොඩනැගීමට අවස්ථාවක් නොමැති බවය.
එම අවස්ථාවේ දී රට ආරක්ෂා කළ ත්‍රිවිධ හමුදාවට තමා නැවත වතාවක් ස්තූතිය පුදකරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
“IMF ආයතනය සහ අප සිදුකරන එකඟතා ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට පවත්වන විශේෂ වැදගත්කමක් සහිත එකඟතාවයක් බව මතක් කර දීමට කැමතියි. අපි අතිශ්‍ය අසීරු ආර්ථික පියවර රාශියක් ගෙන ආර්ථික ස්ථායීකරණය කිරීමට කටයුතු කළා. ආර්ථික වර්ධනය තහවුරු කරගැනීමට දැන් කටයුතු කරමින් සිටිනවා. සමාජයේ සෑමදෙනෙක්ටම මෙමගින් ඇතිවන පීඩා දිගටම පවතිනවා. මෙවැනි දුෂ්කර හා සංකීර්ණ තත්ත්වය මැද අප පසුගිය මාස 7 – 8 ගත කර යම් සාධනීය තත්ත්වයකට ගෙනැවිත් තිබෙනවා. මෙයින් ඉදිරියට යන්න ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. මේ ගැන රටේ සෑමදෙනාම අවබෝධ කර ගත යුතුයි. විවිධ බලපෑම් දේශපාලන පක්ෂ, ස්වෙච්ඡා කණ්ඩායම්, වෘත්තීය සමිති මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. බදු බර වැඩියි කියා වෘත්තීකයින් කියා සිටිනවා. එසේ වුවත් කෙටිකාලයක් මෙම තත්ත්වය පවත්වාගෙන යා යුතුයි. එසේ නැතිව මෙම වැඩපිළිවෙල කඩා කප්පල් කළොත් දැනට 2022 – 2023 පෙබරවාරි මාසය පැවති තත්ත්වය වඩා භයානක තැනට රට තල්ලු වෙයි. එවිට වැටුප් නැතිවෙයි. විශ්‍රාම වැටුප් නැතිවෙයි. රැකියා නැතිවෙයි. කර්මාන්ත වැසී යාවි, පාසල් හැමදාම වැසෙයි. ඒවා යම් තරමකට දැන් පාලනය කරගෙන තියෙනවා. නමුත් සමාජයේ බලපෑම් කළ හැකි කණ්ඩායම් අපි යෝජනා කර ඇති වැඩපිළිවෙල විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩාකප්පල් කළොත් එයින් මතුවන සමාජ විකල්පනය අතිශය භයානක වෙයි. මෙතෙක් නොදුටු දුක්බර කාලයක් ඇතිවෙයි.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව ඒ පිළිබඳ වැඩකටයුතු කරන්න රැස්වීම් පවත්වන්න, පෙළපාළි පවත්වන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් උද්ඝෝෂණ මාර්ගයෙන් මේවා කඩාකප්පල් කරන්න යනවා නම් ඒ පිළිබඳව ආණ්ඩුව තදින් ක්‍රියාකරනවා. ජූලි 9 වනදා රට කඩා වැටුණා නම් අද මේ තත්ත්වය නෑ. අද ඩොලර් එකත් පහළට යනවා. අපේ විශාල හිඩසක් ඇති වුණා. කාගේවත් සහායක් තිබුණේ නෑ. මම ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට ස්තූතිවන්ත වෙනවා. ඒ පියවර නිසා අද අපිට තෙල් තියෙනවා. අද විදුලිබලය තියෙනවා. වැඩිකල් යන්න කලින් ඩොලර් තියෙයි. බලවේගවලට මේවා කඩන්න අපි ඉඩදෙන්නේ නෑ. විපක්ෂයෙන් ඉල්ලනවා අපි එක්ක එකතු වෙන්න. මේ ගමන යන්න ආර්ථිකය ගොඩ ගන්න. ඊළඟ ඡන්දේ තීරණය කරන්න මහමැතිවරණයේදී කවුද ඕනේ කියලා.”