ළමා අපචාර සහ හිංසන සම්බන්ධයෙන් පාසැල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන්වලට ඇතැම් ගුරුවරුන් කැමත්තක් නොදක්වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
‘‘ළමුන් විවිධ අපචාරයන්ට සහ හිංසනවලට ගොදුරු වීමේ ප්‍රවණතාවක් රට තුළ තිබෙනවා. මෙම අපචාර සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නඩු පවරනවාට වඩා, ඊට ගොදුරු වන ළමුන් ඉන් මුදා ගැනීමට දැනුවත් කිරීම් වැඩසටහන් පාසැල් තුළ ක්‍රියාත්මක වීම වැදගත් වනවා. එවැනි දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී අධිකාරියේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ළමුන්ට විවිධ උපදෙස් දෙනවා. තමන්ගේ අනවශ්‍ය තැන් අල්ලන්න දෙන්න එපා. රහස් ප්‍රදේශ අතගාන්න දෙන්න එපා. යනුවෙන් සිසුන්ට උපදෙස් දෙනවා. පාසැල තුළදී පහර කෑමකට කෲර වධ හිංසාවකට ලක් වුවහොත් කළ යුතු දේවල් පිළිබඳව සිසුන් දැනුවත් කරනවා.
නමුත් ඇතැම් ගුරුවරුන් එවැනි දැනුවත් කිරීම්වලට අකැමතියි’’ යනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියකු සඳහන් කළේය.‘‘අපචාර සහ හිංසනවලට ගොදුරු වූ ඇතැම් සිසුන් ඒ පිළිබඳව දෙමාපියන් දැනුවත් කළද තම දරුවන් ලජ්ජාවට සහ අපහසුතාවට පත් වේ යැයි බියෙන් ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීමට මැළිකමක් දක්වනවා’’ යැයිද එම නිලධාරීයා සඳහන් කළේය.(aruna)