Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සීයා වැහී ඇතැයි කියමින් සිසුවියකට මිනී ඔළුවෙන් වතුර පොවලා

2 years ago 3.2 K

මියගිය සීයා වැහී ඇතැයි කියමින්, සිය දෙමව්පියන් විසින් විවිධ ශාන්ති කර්මවලට ලක්කරමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවියක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බව මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

දැරිය මාතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන්නියකි. ශිෂ්‍යත්ව විභාගය කාලයේ ඇති වූ යම් මානසික ව්‍යාකූල බවකට ඇයට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නැයි කියා වෛද්‍යවරුන් නිර්දේශ කොට ද තිබී ඇත.

එහෙත් දැරියගේ දෙමාපියන් මෙම තත්ත්වය අමනුස්‍ය දෝෂයක් හේතුවෙන් හටගත් දෙයකැයි සලකා වසර තුනක පමණ කාලයක් තිස්සේ විවිධ ශාන්ති කර්මවලට ලක් කරමින් ඇය නිවසේ රඳවා තබා ගෙන ඇත.

මෙම දැරිය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූයේ පසුගියදා පොලිස්පති සහන මැදිරියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් ඔස්සේ කළ විමර්ශනයකට අනුවය.

ඒ අනුව මාතර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහගේ උපදෙස් මත මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු කණ්ඩායම මෙම දැරිය සොයා මාතර නගරයේ පිහිටි ඇයගේ නිවසට යද්දී, ගේ ඉදිරිපස මිනීවළක් සේ කපා ඇති වළක්, මිනී ඔළුව ඇටකටු සහ ශාන්ති කර්ම සඳහා යොදාගන්නා උපකරණද, එහි තිබී ඇති අතර කට්ටඬියාද එහි සිට ඇත. තවද ගෙයිමුල්ලේ සිටි කුකුළෙකු ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙම දැරිය ගැන දෙමාපියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී, කට්ටඬියන් විසින් දුන් උපදෙස් අනුව කටයුතු කළ බවත්, දැරියට ඇත්තේ මනෝරෝගයක් නොව අමනුෂ්‍ය දෝෂයක් බවත් පුන පුනා පවසා ඇත.

රූමත් මෙම දැරියගෙන් කළ ප්‍රශ්න කිරීම් අතරතුරද පොලිසියට පෙනී ගොස් ඇත්තේ ඇයට ඉක්මනින් ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයකි.

විභාග කාලයට ඇගේ රෝග තත්ත්වය උත්සන්න වන බවද සඳහන්ය. එය විභාගයට මුහුණ දීමට ඇති භීතිකාවක් නමුත් කට්ටඬියන් මෙම දෙමාපියන් බිය ගන්වමින් මුදල් ලබාගැනීම උදෙසා දැරිය පැය ගණන් වළේ බස්සවා මිනී ඔළුවෙන් ජලය පොවමින් ඇයට පීඩාකාරී ලෙස කටයුතු කර තිබේ.

පොලිසිය කළ දැනුම් දීමට අනුව දෙමාපියන් මෙම දැරියව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළද, යළිත් කට්ටඬියගේ කීමට නිවසට රැගෙන ඒම නිසා, එම දෙමාපියන්ට එරෙහිව මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා ඇත.

එහිදී මෙම දෙමාපියන්ට අවවාද කොට ඇති මහෙස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ, මිථ්‍යා මත ඔස්සේ යමින් දරු දැරියන් මේ ආකාරයෙන් පීඩාවට පත් නොකළ යුතු බවය.

අප්‍රේල් මස 23 වැනිදා නැවත නඩු විභාගයේදී දැරිය පිළිබඳ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.(aruna)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *