නියඟය දරුණු අතට පත්වීමත්, මේ දිනවල පවතින දැඩි උණුසුමත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ යමින් පවතින තත්ත්වයක් හමුවේ යළිත් විදුලි කප්පාදුවකට යෑමේ අවදානමක් මතුව ඇති බව විදුලිබල මණ්ඩල ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් ප්‍රකාශයක් උපුටා දක්වමින් ‘දිවයින’ පුවත්පත වාර්තා කර තිබෙනවා.
සාමාන්‍ය දිනවල මෙරට දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 40 ක් මට්ටමේ පැවතියත් ඊයේ (20 දා) වනවිට දෛනික විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය පනහ දක්වා වැඩිවී තිබුණි.
මේ වනවිට රටේ පවතින විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා විදුලිබල මණ්ඩලය සතු සියලු බලාගාර හා පෞද්ගලික බලාගාරවලින්ද විදුලිය මිලදි ගෙන පවතින බව ද එම ඉංජිනේරුවරයා සඳහන් කර තිබෙනවා.
අවස්ථා දෙකකදී විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ විදුලි ඉල්ලුමේ සැලකිය යුතු පහළ යෑමක් සිදුවුවත් මේ වනවිට රටේ විදුලි ඉල්ලුම පෙර පරිදි සාමාන්‍ය අතට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ද සඳහන් කර ඇත්තේ මෑත කාලයේදී වාර්තා වූ ඉහළම දෛනික විදුලි ඉල්ලුම පෙරේදා (19 දා) වාර්තා වූ බවයි. ඒ ගෙගාවොට් පැය 49.53 කි. ඊයේ (20 දා) දෛනික විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය 50 ක් වනු ඇතැයි පුරෝකථනය කර තිබූ ඇමැතිවරයා සියලුම විදුලි බලාගාර මගින් ජනනය කරන විදුලිය පද්ධතියට එක්කර ඇතැයි ද සඳහන් කර සිටියේය.
එදිරි දින කිහිපයේදී ජල විදුලි නිෂ්පාදනය පහත වැටී විදුලි ඉල්ලුම මෙලෙස පැවතියහොත් විදුලි කප්පාදුවක් කරා යළිත් යෑමට සිදුවන බව ලංවිම උසස් නිලධාරීහු කිහිප දෙනෙක්ම ප්‍රකාශ කළ බවයි එම පුවත්පත වාර්තා කර තිබෙන්නේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතාගෙන් ඔවුන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබුණත් විදුලි කප්පාදුවකට යෑමට තීරණයක් ගෙන නොමැති බවත් දැනට විදුලි ඉල්ලුම සැපයුම කළමනාකරණය කර ගනිමින් අඛණ්ඩව විදුලි බලය ලබාදෙන බවත්ය.