ලබන වසර මුලදී හදිසි ජනපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා පවසනවා.
පසුගිය සතියේ සඳුදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පුර්ව සුදානමක් විය හැකි බවයි පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දෙන්නේ.
මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සෘණ මට්ටමේ පැවති මෙරට ආර්ථිකය මේ වන විට බිංදුවේ මට්ටමට රැගෙනවිත් ඇති බවත්, ලබන සැප්තැම්බර් මස වනවිට එය ධන මට්ටමට ගෙන එන බවත්ය.
ඒ හේතුවෙන් ජනතාව අතරට ගොස් රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කරන ලෙස කැබිනට් ඇමතිවරුන්ගෙන් සහ පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් ජනාධිපතිවරයා එහිදී ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ගමට ගොස් පසුබිම සකසන්නැයි ඉල්ලීමක් කර ඇති බවයි.