Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මියගිය පෙම්වතියගේ හයියෙන් යළි ඉපදුණු මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියානුවන්ගෙන් දේවත්වයෙන් පිදුම් ලබන තෙක් ආ ගමන් මග

1 year ago

ලංකාවට කෙසේ වෙතත් ඉන්දියාවට නම් ක්‍රිකට් ක්‍රීඩාව ආගමකි. විස්මිත දස්කම් පාමින් ක්‍රිකට් පිටිය දෙවනත් කරන ක්‍රීඩකයන් එරට මිලියන 1400කට වැඩි ජනතාව අතර දෙවියන් හා සමාන ගරු බුහුමන් ලබන්නේ නිතැතින්මය. එබැවින් ඉන්දියාවට ක්‍රිකට් දෙවිවරුන්ගෙන් අඩුවක් ද නැත. මෑත ඉතිහාසයේ ජීවමාන දෙවියා ලෙස එරට ජනතාව අතර වැඩිපුරම පුද පූජා ලැබුවේ සචින් තෙන්ඩුල්කර් ය. ඔහුගේ ජනප්‍රියත්වය සහ දේවත්වය කල්යෑමේදී ජනතාව අතරින් ගිලිහී ගියේ ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟය. එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර තුනකට ආසන්න කාලයක් ගතවුව ද අදටත් ජනතාව අතර දෙවියන් හා සමාන ගරු බුහුමන් ලබන මහේන්ද්‍ර සිං දෝනිගේ කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. ඔහු එදා මෙන්ම අදත් ඉන්දියානු ජනතාව අතර ක්‍රිකට් දෙවියෙකි. අයිපීඑල් තරග බිමේ චෙන්නායි සුපර් කිංග්ස් පිලට නායකත්වය දෙන මේ 41 හැවිරිදි අපූරු ක්‍රීඩකයා පසුගියදා පස්වැනි වතාවටත් අයිපීඑල් කිරුළ චෙන්නායි පිලට ගෙන දීමට සමත්වීමෙන් තමිල්නාඩුවේ සියලු දෙවියන් පරදවන ආකාරයේ ගරු බුහුමන් ලබමින් සිටින්නේ විස්මිත ආකාරයෙනි.

චෙන්නායි පිලට දෝනිගෙන් තොර නායකයකු ද නැත. 2008 අයිපීඑල් පළමු තරගාවලියේදී එහි හිමිකරුවන් මුල සිටම ඇස ගසාගෙන සිටියේ ද දෝනි වෙතය. ඒ වන විට ලෝක ක්‍රිකට් පිටියේ නොම්මර එකේ ක්‍රීඩකයකු වූ දෝනි එවර චෙන්නායි සුපර් කිංග්ස් හිමිකරුවන් මිලදී ගත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලකට වූ අතර, එය තරගාවලියේ ක්‍රීඩකයකු ලැබූ ඉහළම ලංසුව ද විය. ඔහු පළමු තරගාවලියේදීම චෙන්නායි පිල අවසන් මහා තරගයට රැගෙන ගිය අතර, ඊට වසර දෙකකට පසු 2010දී මංගල අයිපීඑල් කිරුළ සිය කණ්ඩායමට ගෙන දුන්නේය. ඉන් නොනැවතී ඔහු ඊළඟ වසරේදිත් චෙන්නායි පිල අයිපීඑල් ශුරයන් කළ අතර, 2018 සහ 2021දිත් ඔවුන් අයිපීඑල් කිරුළට හිමිකම් කීවේ දෝනිගේ නායකත්වය යටතේය. ඊට අමතරව 2012, 2013, 2015 සහ 2019 වසරවලදී චෙන්නායි පිල අයිපීඑල් අනුශූරයන් බවට පත් වූයේ ද දෝනිගේ නායකත්වය යටතේය. එබැවින් දෝනි තමිල්නාඩුවේ ජනතාව අතර දේවත්වයෙන් සැලකීම එක අතකට පුදුම වීමට කාරණාවක් ද නොවේ. දෝනි හැරුණු විට චෙන්නායි පිලට නායකත්වය දුන්නේ ක්‍රීඩකයන් දෙදෙනකු පමණි. එය සිදු වූයේද දෝනි සහභාගි නොවූ තරගවලට පමණි.

ජාත්‍යන්තර ෆෝබ්ස් දර්ශකයකට අනුව පසුගිය මාර්තුව වන විට ලොව ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර දෝනි දෙවැනි වූයේ සචින් තෙන්ඩුල්කාර්ට පමණි. එම ලැයිස්තුවට අනුව ඩොලර් මිලියන 170ක වත්කමක් සහිත තෙන්ඩුල්කාර් ලොව ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා විය. දෝනිගේ වත්කම ඩොලර් මිලියන 115කි. තුන්වැන්නා වූ විරාත් කෝලි ඩොලර් මිලියන 112ක වත්කමක් අතැතිව එම ලැයිස්තුවේ තුන්වැනි තැනට පත්ව සිටියේය. වර්තමානය වෙද්දී මෙතරම් ධනවතකු වුවද දෝනි සැබැවින්ම සාමාන්‍ය පවුලක උපන්නෙකි. ඔහුගේ ළමාවිය මෙන්ම නව යොවුන් විය ද ගෙවී ගියේ අගහිඟකම් අතරෙනි. බිහාර් ප්‍රාන්තයේ රන්චි ප්‍රදේශයේ හින්දු පවුලක බඩපිස්සා වූ දෝනිගේ ක්‍රීඩා දිවිය ආරම්භ වූයේ පාපන්දු පිටියෙනි. හෙතෙම එම පළාතේ ජවාහිර් විද්‍යා මන්දිර් පාසලේ පාපන්දු කණ්ඩායමේ දැල් රකින්නා ය. ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වන ලෙස දිරිගැන්වූයේ පාසලේ පාපන්දු පුහුණුකරු කේෂව් බෙනර්ජී ය. ඔහුගේ අසාමාන්‍ය කඩුලු රැකීමේ දස්කම් හේතුවෙන් වැඩිකල් නොගොසින් එම පළාතේ පාසල් අතර වැඩිපුරට කතාබහට ද ලක් විය.

අහම්බෙන් ක්‍රිකට් පිටියට එක් වූ දෝනිට සැබැවින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ සිහිනයක් තිබුණේම නැත. එය තිබුණේ ඔහුගේ ප්‍රථම ප්‍රේමය දිනාගෙන සිටි ප්‍රියංකා ජා ටය. පසුකාලීනව ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය ජනතාවගේ පොදු වස්තුවක් බවට පත් වූවද, එවකට දෝනිගේ තනි අයිතිය තිබුණේ පාසල් වියේ සිටම ඔහුගේ තැන්පත්කමට පෙම් බැඳි මේ රූමත් යුවතියටය. ඔහුගේ ජීවිතය නවාතැන්පොළක් කරගෙන සිටි ප්‍රියංකාටය. දෝනිගේ ආකර්ෂණීය සිනහවේ හිමිකාරිනිය වූ ප්‍රියංකාගේ එකම සිහිනය වූයේ දෝනි කෙදිනක හෝ ඉන්දීය ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනු දැකීමටය.

එහෙත් මේ ආදර කතාව විලියම් ශේක්ස්පියර්ගේ ඛේදාන්ත නාට්‍යයක් ලෙස අවසන් වූයේ 2002 වසරේදී ඇය මාරක රිය අනතුරකින් ජීවිතය හැර යෑමෙනි.

ජවාහිර් විද්‍යා මන්දිර් පාසලේ දෝනි සමඟම එකට අකුරු කළ ප්‍රියංකා නොසිටියේ නම් අද වෙද්දී ඉන්දියාවට දෝනි නමින් ක්‍රිකට් ක්‍රීඩකයකු නැත. පාසල් අධ්‍යාපනයෙන් පසු ආර්ථික ගැටලු රැසකට මුහුණ පා සිටි දෝනිට ජාතික පිලට ඇතුළත් වීම තරම් සැබෑ නොවන සිහිනයක් තවත් නැති බව පුන පුනා කියමින් දුම්රිය ස්ථානයක ටිකට් පත් එකතු කරන්නකු ලෙස රැකියාවක් සොයා දුන්නේ ඔහුගේ මිතුරන් ය. ප්‍රියංකා සටන අත හැරියේ නැත. ඇය සිය පෙම්වතාට රැකියාවෙන් ඉවත් වන ලෙස බල කරන්නට ප්‍රේමය අවියක් කර ගත්තාය. රැකියාව හෝ තමාව තෝරාගන්නා ලෙස බලපෑම් කළාය. අන්තිමේදී ඔහු රැකියාව අතහැර පෙම්වතිය රැක ගත්තේය. එවකට විසිගණන්වල මුල් භාගයේ සිට දෝනිගේ ජීවිතයේ වැඩිදෙනකු නොදන්නා මේ කතාව යළි කරළියට ආවේ ‘එම්.එස්.දෝනි- නොකී කතාව‘ නමින් මීට වසර හයකට පෙර තිරගත වූ බොලිවුඩ් චිත්‍රපටයෙනි.

ඉන්දීය රුපියල් කෝටි සියයකට වඩා වැය කරමින් තැනූ දෝනිගේ ප්‍රේම කතාවට පාදක වූයේ ද රන්චි පළාතේ ක්‍රිකට් ක්‍රීඩකයා අවසානයේ ජාතික ක්‍රිකට් පිලේ සාර්ථකම නායකයා බවට පත්වීමය. ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් ගැනය. ප්‍රියංකාගේ අමරණීය පෙම් කතාව ගැනය.

ඊයේ පෙරේදා අයිපීඑල් ශූරතාව දිනා ගැනීමෙන් පසු දෝනි ගැන වැඩි වැඩියෙන් කතාබහට ලක් වෙද්දී ඔහුගේ චිත්‍රපටය ගැනත්, අකාලයේ ජිවිතය හැර ගිය පෙම්වතිය ගැනත් මතකය යළි අලුත් විය. වැඩි දෙනකු නොදන්නා දෝනිගේ පළමු පෙම්වතියගේ වේදනාත්මක සමුගැනීම එම චිත්‍රපටයට ඇතුළත් කිරීමෙන් එහි ජනප්‍රියත්වය ඉහළ ගියේය. බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තැබූ එම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 216ක් උපයා ගැනීමට සමත් වී තිබිණි. එහි දෝනිගේ චරිතය නිරූපණය කළේ ඔහුගේ රුවට තරමක් සමාන සුෂාන්ත් සිං රාජ්පුට් නමැති බොලිවුඩ් නළුවා ය. ප්‍රියංකාගේ භූමිකාවට පණ පොවනු ලැබුවේ තෙළිඟු සිනමාවෙන් බොලිවුඩයට පා තැබූ ඩිෂා පටානි ය.

දෝනිගේ පෙම්වතියගේ අහිමි වීම පාදක කරගත් මේ චිත්‍රපටයේදී දෝනි ලෙස රඟපෑ සුෂාන්ත් ද ඊට වසර හතරකට පසු මෙලොවින් සමුගැනීම අවාසනාවන්ත සිදුවීමකි. ඔහු මිය ගියේ සිය කාමරයේදි ගෙල වැලලාගෙන ය.

ඉන්දියාවේ ජාතික වස්තුවක් බවට පත්වූ දෝනිට එතැනට යෑමට මං විවර කර දුන්නේ ද, දිරිගැන්වුයේ ද පළමු පෙම්වතිය ප්‍රියංකා ය. ඇය ඔහුට අසීමාන්තික ප්‍රේමයත්, ජීවත් වීමට දිරියත් දෙකම දී මෙලොවින් සමුගත්තාය. ඇතැමුන් කියන්නේ ප්‍රියංකාගේ හදිසි වියෝව දෝනිගේ ජීවිතයේ ඇතිවීම සහ නැතිවීම තීරණය කළ සංක්‍රාන්ති කාලපරිච්ඡේදයක් වූ බවය. ඔහුගේ මිතුරන් කියන්නේ පෙම්වතියගේ අවසන් කටයුතුවලින් පසු මාස 6ක්ම ඔහු සිටියේ උන්මත්තකයකු ලෙස බවය. ඒ කාලයේදී ඔහු නිකමටවත් ක්‍රිකට් පිත්තක් දෙස බැලුවේවත් නැති බවය.

කාලයාගේ අවෑමෙන් ඔහු නැවත නැඟී සිටියේ තමා කෙදිනක හෝ ජාතික කණ්ඩායම නියෝජනය කරනු දැකීමට ප්‍රියංකා තුළ තිබූ සිහිනය සැබෑ කිරීමේ බලාපොරොත්තුවෙනි. ඇයට ඇති ප්‍රේමය කියාපෑමට ඊට වඩා දෙයක් නැති බව ඔහුට දැනෙන්නට ඇත.

අහමදාබාද් නුවරදී අයිපීඑල් අවසන් තරගයේ අවසන් මොහොතේ ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් රැසක කෝටි සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ සිත් තුළ තිබූ කලබලය, කුතූහලය ඒ මොහොතේ පිටිය අසල අසුන් ගෙන සිටි දෝනිට තිබුණේම නැත. කවුරුත් කතා කළේ දෝනිගේ මේ පුදුම හිතෙන සන්සුන්කම ගැනය. එය කාලයක් තිස්සේ දෝනිගෙන් පෙන්නුම් කෙරෙන්නකි. සැබැවින්ම එවකට ඉතා මුරණ්ඩු කුකුල් කේන්තිකාරයකු වූ මේ අරුම පුදුම ක්‍රීඩකයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සන්සුන් පුද්ගලයකු බවට පත් වූයේ ප්‍රියංකාගේ අභාවයත් සමඟය. ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන්ට අනුව තරගයක ඉතා තීරණාත්මක අවස්ථාවකදී පවා දෝනිගේ සන්සුන්භාවය පුදුම සහගතය. ඇතැම් තරගවලදී පරාජය පෙනි පෙනී සිය කණ්ඩායම ජයග්‍රහණය අත්කර ගත් අවස්ථා සැමරීමට සෙසු සගයන් ජයඝෝෂා නඟමින් ක්‍රීඩා පිටියට දිව ගියද, දෝනි නම් සුපුරුදු ලෙසම නිහඬව සිටිනුයේ මඳ සිනහවකින් මුව සරසාගෙනය. එදා අයිපීඑල් තරගයේ අවසන් මොහොතේදි සිදු වූයේ ද ඒ ටිකමය.

ක්‍රිකට් පිටියේ ශ්‍රේෂ්ඨතම තරග අවසන් කරන්නා විරුදාවලිය ලැබූ දෝනිගේ ‘හෙලිකොප්ටර්‘ පහර, කඩුලු රැකීමේදී හීයක වේගයෙන් පිතිකරු ස්ටම්ප් කිරීමට හසු කරගැනීම අදටත් ජීවමානය. ඒ සියල්ලට වඩා ඔහුගේ නායකත්වයේ ගුණාංග ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ දැඩි පැසසුමට ලක් වූවකි.

දෝනි පළමුවරට ඉන්දීය ‘ඒ‘ කණ්ඩායමට තෝරාගැනීම දැකීමට ඔහුගේ පෙම්වතියට වාසනාවක් නොතිබිණි. ඔහුට මේ අවස්ථාව හිමිවූයේ ප්‍රියංකාගේ අභාවයෙන් වසරකට පසුවය. ඇගෙන් හිස් වූ දෝනිගේ ජීවිතයට සතුට රැගෙන ආවේ ඔහුගේ බිරිය සක්ෂි ය. දෝනිගේ පළමු පෙමත්, ප්‍රියංකා ගැනත්, ඔහුගේ වේදනාත්මක අතීත මතකයත් සියල්ල සිදු වූයේ සක්ෂිගෙත් ඇස් පනා පිටය. සක්ෂි ඉගෙනුම ලැබුවේ ද දෝනි හා ප්‍රියංකා අධ්‍යාපනය ලැබූ ජවාහිර් විදුහලේමය. එවකට ඇය ඉතා කුඩා සිසුවියක වූවාය. වයසින් දෝනිට හා ප්‍රියංකාට වඩා අවුරුදු 8ක්ම බාල ය. එදා අයිපීඑල් අවසන් තරගයේ ජයග්‍රහණයෙන් පසු ඔහු අසල දැවටි දැවටී සිටි ඇය ඔහුගේ ජීවිතයේ එකම පංගුකාරිනිය වුවත්, මේ විශිෂ්ට ක්‍රීඩකයා තමිල්නාඩුවේ පොදු ජනතාවගේ වස්තුවක් වී හමාරය.

තරගයේ ජයග්‍රහණයෙන් පසු දෝනිට ලැබුණු ජනතා හරසර, ඇතැමුන් පැමිණ ඔහුගේ පාද ස්පර්ශ කරන අයුරු, ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයන් ඔහු සමඟ එකට සිට ‘සෙල්ෆි‘ ඡායාරූප ගැනීමට දඟලන අයුරු, චෙන්නායි පිලේ යොවුන් ක්‍රීඩකයන් පියකුට වගේ ඔහුට සෙනෙහස දක්වන අයුරු, පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය ජාලා පිරී ඉතිරී ගියේ මෙවැනි ඡායාරූප හා විස්තරවලිනි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ යොවුන් වේගපන්දු යවන්නා වූ මතීෂ පතිරණ මේ වැඩිහිටි ක්‍රීඩකයාගේ සෙවණේ ගුරුහරුකම් ලබා ප්‍රතිවාදී පිතිකරුවන්ට හිසරදයක් බවට පත්වූ ආකාරය සහ පතිරණ පවුලම දෝනි සමඟ එක්ව ගත් ඡායාරූපය ඒ අතර කැපී පෙනුණි. ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු වුවද මතීෂට එදා තමිල්නාඩු ජනතාව සැලකුවේ ඔවුන්ගේම පුරවැසියකුට මෙන් ය. ඊයේ පෙරේදා ඔහු ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයට නම් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ‘චෙන්නායි සුපර් කිංග්ස් තරුව ඇෆ්ගනිස්තානයට එරෙහි සංචිතයට නම් කරයි‘ යනුවෙනි.

දෝනිගේ විශිෂ්ටත්වයට මෙවැනි නිදසුන් රැසකි. ඔහු සිය කනිෂ්ඨ ක්‍රීඩකයන්ට කදිම පාඩම් රැසක් කියා දුන් ක්‍රීඩකයෙකි. ඔහු ලොව විශිෂ්ටතම ක්‍රිකට් නායකයකු බවට විස්තර විචාරක ඉයන් චැපල් පසුගියදා කීවේ නිදසුන් සහිතවය. දෝනි යනු පසුගිය වසර 30 ඇතුළත ලොව බිහි වූ විශිෂ්ටතම නායකයකු බව කියන ඉයන් චැපල් ඔහු සමකල හැකිවන්නේ ඉම්රාන් ඛාන්ට, මාක් ටේලර්ට සහ අර්ජුන රණතුංගට පමණක් බවත් කියා සිටියේය. එවකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අර්ජුන රණතුංග හඳුන්වනු ලැබුවේ ද ‘කැප්ටන් කූල්‘ නමිනි. සුනිල් ගවස්කර් කියන්නේ ඔහු අවසන් හුස්ම හෙළිමට පෙර දැකීමට කැමති අවසන් දර්ශනය වන්නේ 2011 ලෝක කුසලාන අවසන් තරගයේදී දෝනි විසින් එල්ල කරනු ලැබූ හයේ පහර බවය. නායකයන් රැසක් යටතේ ක්‍රීඩා කර ඇති සචින් තෙන්ඩුල්කාර් කියන්නේ ඒ අතුරින් හොඳම නායකයා දෝනි බවය. වසීම් අක්රම් යනු එවකට ‘යෝකර්‘ පන්දුවේ රජු ය. දෝනි ගැන ඔහුගේ තක්සේරුව වන්නේ යෝකර් පන්දුවකට හයේ පහරක් එල්ල කළ හැකි එකම පිතිකරු දෝනි බවය. තවත් එවැනි කතා බොහෝ ය. ඒ සියලු කතා මියගිය පෙම්වතියගේ හයියෙන් යළි ඉපදුණු දෝනි තමිල්නාඩුවේ දේවත්වයෙන් පිදුම් ලැබීමේ කතාව තරම් විස්මිත වන්නේ නැත.
(ෆවුස් මොහොමඩ් – සිළුමිණ)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *