ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානකව ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ඊයේ (20වැනිදා) වෙනස් කරමින් තවදුරටත් නායකත්වයේ රැඳීම සඳහා ඔහුට අවස්ථාව ලබාදීමට තීරණය වී තිබේ.
ඒ අනුව එළැඹෙන එක්දින ලෝක කුසලාන සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව ඔහුට පැවරෙනු ඇත.
තරග කිහිපයකදීම පිතිකරුවෙකු ලෙසින් අසාර්ථක වූ නිසා දසුන්ව නායකත්වයෙන් ඉවත් කර ලෝක කුසලාන තරගාවලියේදී නව නායකයා ලෙසින් කුසල් මෙන්ඩිස්ව නම් කිරීමට පෙරේදා තීරණය කර තිබුණි.
නමුත් මෙම තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ නායකයකු ලෙස අසාර්ථක නොවුණු දසුන් ශානක තවදුරටත් නායකත්වයේ රැඳිය යුතු බවට ප්‍රබල ජනතා මතයක් ප්‍රකාශ වන්නට විය. ඒ සමග ඊයේ රැස් වූ තේරීම් කමිටුව එම තීරණය පිළිබඳව යළි සලකා බලා දසුන් තවදුරටත් නායකත්වයේ තබාගැනීමට තීරණය කර තිබේ.
අවසානයේ වැඩි මතයට එකඟ වෙමින් දසුන් තවදුරටත් නායකත්වයේ තැබිය යුතු බවට තීන්දු වී ඇති අතර ඒ අනුව ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙනුවෙන් යවන ලද ලෝක කුසලාන සංචිතයේ කණ්ඩායම් නායකයා ලෙසින් දසුන්ව නම් කර තිබුණි.
ලෝක කුසලාන සඳහා නම්ව ඇති අදාළ සංචිතය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, ඒ සඳහා මූලික වශයෙන් නම් කළ අදාළ සංචිතයම වෙනසකින් තොරව අවසන් සංචිතය ලෙසින් ද නම් කර ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව දඟ පන්දු යැවීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව වනිඳු හසරංග මෙන්ම වේග පන්දු යැවීමේ අංශට දුෂ්මන්ත චමීරද එක්ව තිබේ. දිමුත් කරුණාරත්නද මෙම සංචිතයේ අවස්ථාව හිමිව ඇති බව සැලවේ.
ලෝක කුසලාන සංචිතය ? පිතිකරු අංශයෙන් -පැතුම් නිශ්ශංක, කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා සහ දසුන් ශානක
දඟ පන්දු යවන්නන් – වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ
වේග පන්දු යවන්නන් – දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංඛ