කොළඹ වරායේ සිට මැලේසියාව බලා දින අටක කාලයක් යාත්‍රා කළ ‘ඔර්ස් යුකෝන්’ නමැති නෞකාවේ තිබූ බහලුමක ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික යුවළක් සැඟවී සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
කොළඹ වරායට ඉන්දියාවේ කල්කටා වරායේ සිට මෙම බහලුම් පළමුව පැමිණ කොළඹ වරායෙන් ප්‍රති නැව්ගත කර ඇත. ඒ කොළඹ වරායේ පෞද්ගලික පර්යන්තයක සිටය. පසුගිය ජනවාරි 31 වන දින කොළඹ වරායෙන් පිටත් වූ මෙම නෞකාව පෙබරවාරි මස අටවන දින මැලේසියාවට සේන්දු වී තිබේ.
එහිදී නිලධාරීන් විසින් බහලුම් විවෘත කර පරීක්ෂා කිරීමේදී මෙම යුවළ නිරුපද්‍රිතව සිට ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. මෙම යුවළ දින දහයකට පමණ අවශ්‍ය වතුර හා ආහාර සහිතව කන්ටේනරයට ඇතුළු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
වයස අවුරුදු තිස්නවයක් වන පිරිමි පුද්ගලයකු හා වයස අවුරුදු විසිහතක් වන කාන්තාවක් මෙලෙස සොයාගෙන තිබේ.
මොවුන් මෙම කන්ටේනරයට ඇතුළු වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ.
මොවුන් දෙදෙනාම යාපනයේ පදිංචිකරුවෝ වෙති.