මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහණි කවිරත්න ප්‍රශ්න කර සිටියා.
ඇයගේ පැනයට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක දරුවන්ට අසාධාරණයක් සිදුනොවීමට වගබලා ගන්නා බවය.
එමෙන්ම විද්‍යාව ප්‍රශ්නපත්‍රය සැකසු පිරිස රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කටයුතු කරමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේය.
“විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් සහ බහුවරණ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇති වූ වේලාවේ සිට ඒ ප්‍රශ්නපත්‍රය සකස් කළ අය රැස්වෙලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විභාග කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළා. සාමාන්‍යයෙන් වෙන්නේ ඕනෑම විභාගයක දී සාම්පල් මාර්ක් එකක් කරනවා. එතැනින් පස්සේ බරතැබීම සම්බන්ධයෙන් වෙනස්කම් කරනවා. ඒ නිසා දරුවන්ට අසාධාරණයක් නොවන ආකාරයට මාර්කින් ස්කීම් එක සකස් කිරීමට ඒ පැනල් එක කටයුතු කිරීමට නියමිතයි.”
මේ අතර, සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා ද ලකුණු ලබා දීමේදී සිසුන්ට සහනයක් වන පරිදි අවශ්‍ය පියවර ගැනීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.