කුලියාපිටිය ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් ඔහුගේ පෙම්වතිය ඇතුළු සැකකරුවන් 9 දෙනා එළැඹෙන 27 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
එම සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.
කුලියාපිටිය, කබලෑව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි සුසිත ජයවංශ යන අය පසුගිය අප්‍රේල් 22 වනදා සිට අතුරුදන්ව සිටි අතර දැඩි ලෙස පිළිස්සී තිබූ ඔහුගේ මළ සිරුර මාදම්පේ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයකින් පසුගිය 7වැනිදා සොයාගෙන තිබුණි.
සිද්ධියෙන් පසුව අදාළ තරුණයාගේ පෙම්වතිය බව කියන 18 හැවිරිදි තරුණිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින් මෙන්ම ඥාතීන් කිහිපදෙනෙකුද අතුරුදන්ව සිටි අතර පසුව ඇයගේ පියා සහ මව ඇතුළු සැකකරුවන් අටදෙනෙකු මීට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
18 හැවිරිදි තරුණිය ඊයේ කුලියාපිටිය පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශයක් ලබාගැනිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්ය.
වයස අවුරුදු 15 සිට අවස්ථා ගණනාවකදී සුසිත් නැමැත්තා තමාව දූෂණය කළ බවත්, ඔහු සිදුකළ තර්ජනය කිරීම් හේතුවෙන් ඒ පිළිබඳ නිවැසියන්ට හෝ වෙනත් පාර්ශ්වයකට දැනුම්නොදුන් බවත් එහිදී තරුණිය ප්‍රකාශ කර තිබූ බව සඳහන්ය.
කෙසේවෙතත් මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනයක් සිදුකර එම අපරාධය වසන්කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකාරිය අද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ද ඉදිරිපත් කර තිබුණි.(source – adaderana)