කොවිඩ් වසංගතය පාලනය සඳහා ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් එන්නතින් අතුරු ආබාධ ඇතිවන බවට බ්‍රිතාන්‍ය මහාධිකරණයක් ඉදිරියේ එම සමාගම පිළිගත් පසුබිමක එන්නත සම්බන්ධයෙන් සැකසංකා මතුව පවතියි.
කෙසේවෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බවය.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් මිලියන 6කට වැඩි ජීවිත සංඛ්‍යාවක් බේරාගැනීමට හැකිවූ බවයි එය නිපද වූ සමාගම සඳහන් කරන්නේ.
කෙසේවෙතත් එන්නත බෙදාහැරීම ඇරඹී වසර තුනකට පසුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පසුගියදා බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේදී තීරණය කළේය.
ඒ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත මගින් රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ ඇති විය හැකි බවට එම ආයතනය බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේ පිළිගැනීමෙන් පසුවය.
කොවිඩ් පාලනය ලබාදුන් එන්නත මගින් රුධිරය කැටි ගැසීම සහ රුධිර පට්ටිකා අඩුවීම යන තත්ත්වයන් එකතුවීමෙන් ඇතිවන දුර්ලභ සංකූලතාවයන් ඇති වන අතර මේ නිසා ආඝාතය, මොළයට හානි වීම, හෘදයාබාධ, පෙනහලු ආබාධ, ශරීරාංග ඉවත් කිරීම වැනි ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බව වාර්තා වී ඇත.
රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට පාර්ශ්ව කිහිපයක්ම එම සමාගමට එරෙහිව නඩු පවරා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂිල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රී ලාංකිකයින් බියට හෝ කලබලයට පත්විය යුතු නැති බවය.