නිවසකින් වායු රයිෆලයක් සහ ජංගම දුරකථනයක් සොරාගත් බව පවසමින් ගමේ පාසල් සිසුවකු ඇතුළු දෙදෙනෙක් මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් පාසල් සිසුවා පමණක් ඔහුගේ නිවස සමීපයේ සිට පොලිස් ත්‍රිරෝද රථයෙන් පොලිසිය වෙත රැගෙන යමින් සිටියදී ත්‍රිරෝද රථ රියැදුරු හැර පොලිස් නිලධාරීන් තිදෙනකු විසින් මෙසේ දෑතට මාංචු දමා අමානුෂික ලෙස තමාට පහර දුන් බව සිසුවා පවසනවා.
පොලිස් අත්අඩංගුවට ගත් සිසුවාගේ අනෙක් මිතුරන් දෙදෙනාට කිසිදු දඬුවමක් නොකළ බවත්, ජංගම දුරකථනයට මිතුරන් තිදෙනාම රුපියල් 22000 බැගින් ගෙවිය යුතු බවට පොලිසිය කළ නියෝගයට එකඟ වූ බවත් සිසුවා පවසා සිටිනවා.
ඒ අනුව පොලිස් ප්‍රහාරයට ලක්වූ සිසුවාගේ සොයුරිය එම මුදල ගෙවූ බවත් එසේ ගෙවා දරුවා නිවසට රැගෙන ආ බවත් පැවසෙනවා.
පසුව අසනීප තත්ත්වයක් තිබේ නම් රජයේ රෝහලකට නොගොස් ගමේ බෙහෙත් සාප්පුවකින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් සිසුවාගේ පියාට පොලිසියෙන් උපදෙස් ලැබී තිබෙන බවටද තොරතුරු අනාවරණය වුණා.
මැල්සිරිපුර පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ ප්‍රහාරයට ලක්වූ අවුරුදු 13ක් වයසැති මැල්සිරිපුර මැදමුලන ජාතික පාසලේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ 23 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බවට වාර්තා වනවා.
මෙහිදී පොලිස් නිළධාරින් විසින් අත් දෙක පිටුපස්සට කර මංචු දමලා ඔළුවට, මුහුණට, කටට, පපුවට පහර දුන් බවත් එක් පොලිස් නිළධාරියෙක් වම් ඇහැට ඇඟිල්ල තියලා කරකැව්ව බවත් රෝහල් ගතව සිටි සිසුවා පවසනවා. (source – news19)