ලෝකයේ පිළිකා රෝගීන්ගේ ගණන 2030 වන විට දෙකෝටි විසි ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය පවසනවා.
පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය එලෙසින් වර්ධනය වුවත් දැනුවත් භාවය තුළින් එය සැලකිය යුතු තත්ත්වයක් දක්වා පාලනය කර ගත හැකි යැයි ද වෛද්‍යවරිය සඳහන් කළා.
එහිදී අදහස් දැක්වූ වෛද්‍යවරිය වර්ෂ 2018දී ලක්ෂ 96ක් වූ පිළීකා රෝගී මරණ ගණන වර්ෂ 2030දී එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වනු ඇති බවට සෞඛ්‍ය අංශ අනුමාන කරන බව ද කීවාය. පුරුෂ පාර්ශවය අතර බහුලව ව්‍යාප්ත වන මුඛ පිළිකා බුලත් විට සැපීම හේතුවෙන් වැළදෙන බව පෙන්වා දුන් වෛද්‍යවරිය, දුම්පානය හේතුවෙන් පෙණහළු ආශ්‍රිත පිළිකා වර්ධනය වන බව කීවාය. මත්පැන් හා අනිකුත් අහිතකර ආහාර පාලනය කිරීම මගින් ගලනාලය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා අවම කර ගත හැකි යැයි ද වෛද්‍යවරිය සඳහන් කර සිටියා.
මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුලුව පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල්වල සිදුකරන ප්‍රතිකාර වලට අමතරව පිළිකා රෝගීන් වෙනුවෙන් අමතර ඖෂධ ලබාදීම, ආහාර සහිතව නේවාසික පහසුකම් ලබාදීම, මහජනයා දැනුවත් කිරීම ඇතුලු වැඩසටහන් රැසක් ශ්‍රී ලංකා සංගමය මගින් සිදුකරන බව වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය තව දුරටත් සඳහන් කළා.
