2015 වසරේ පැවති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින්, ක්‍රීඩා සංගම් අතර බෙදා හැරීම සදහා කැරම් බෝර්ඩ් මිලදී ගැනීමෙන්, රජයට රුපියල් ලක්ෂ 530 ක මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන්, එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ එවකට සතොස සභාපති වූ නලින් ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබුණු නඩුවේ තීන්දුව හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතීඥයන් ත්‍රීපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිලි පාර්ශ්වය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති නිසා, මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු යන අය නිදොස් කොට නිදහස් කරන ලෙසයි.
මෙම නඩුවේ තීන්දුව ඊයේ දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
නමුත් අධිකරණය තීන්දු කළේ ප්‍රකාශ කිරීම හෙට දිනය දක්වා කල් දැමීමටයි.
උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි වූ මුදල් භාවිතා කරමින් කොළඹ හත කිංසිපාරේ සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබුණු නඩුවෙන් පසුගිය දා ඔහු නිදොස්කොට නිදහස් කරනු ලැබීය.