සත්කාරක එංගලන්ත යොවුන් කණ්ඩායම හමුවේ දෙවැනි සිවුදින ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 53ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (19) සිදුවුණා.
ඒ අනුව තරග 02කින් යුත් සිවුදින තරගාවලිය, තරග 1-0ක් ලෙසින් ජය ගැනීමට එංගලන්ත යොවුන් පිල සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 153ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ගයන වීරසිංහ ලකුණු 77ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 477ක් රැස්කිරීමට සමත් විය.
එහිදී නායක හම්සා ෂෙයික් (107) හා රොකී ෆ්ලින්ටොෆ් (106) ශතක වාර්තා කළේය.
රොකී ෆ්ලින්ටොෆ් වාර්තා කළ ශතකය විශේෂිත වන අතර එය ඉතිහාසයට එක් වූයේ එංගලන්ත අවුරුදු 19 පහළ කණ්ඩායම වෙනුවෙන් අඩුම වයසකදී ක්‍රීඩකයෙක් රැස්කළ ශතකය ලෙසයි.
16 හැවිරිදි රොකී ෆ්ලින්ටොෆ්, එංගලන්තය වෙනුවෙන් සුපිරි දස්කම් පෑ ඇන්ඬෲ ෆ්ලින්ටොෆ් ගේ පුත්‍රයා වෙයි.
ඒ අනුව ලකුණු 324ක් පසුපසින් යළි දෙවැනි ඉනිම ඇරඹීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර, දෙවැනි ඉනිම සඳහාද ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කරගත හැකිවූයේ 271ක් පමණි.
මෙම ඉනිමේද ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූයේ එක් අර්ධ ශතකයක් පමණක් වූ අතර, ඊට මලිත් පෙරේරා (61) හිමිකම් කියුවා.
දෙරට අතර මෙම තරගාවලියට පෙර පැවැති තරග 03කින් යුත් එක්දින තරගාවලියද තරග 2-1ක් ලෙසින් ජයගත්තේ සත්කාරක එංගලන්ත කණ්ඩායමයි.
