මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත් විය.
පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් තරගය මෙරට වේලාවෙන් ඊයේ (04) රාත්‍රියේදී පැවති අතර, එහිදී නෝවා ලයිල්ස් තරගය අවසන් කිරීම සඳහා තත්පර 9.784ක කාලයක් වාර්තා කළේය.
එය ඔහුගේ පෞද්ගලික හොඳම කාලයද විය.
පිරිමි මීටර 100 ඉසව්වේ රිදී පදක්කම දිනාගත් ජැමෙයිකාවේ කිෂාන් තොම්සන්ද තත්පර 9.789 කාලයක් වාර්තා කළේය.
ඔහු හා ලයිල්ස් අතර වෙනස දැක්වූයේ තත්පර 0.005ක් ලෙසිනි.
ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේද අමෙරිකානු ක්‍රීඩකයෙකු වන ෆ්රෙඩ් කර්ලි විසින්ය.
ෆ්රෙඩ් කර්ලි ද සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කරමින් තත්. 9.81ක දක්ෂතාවක් දැක්වීමට සමත් විය.
මෙම තරගයට සහභාගි වූ ක්‍රීඩකයින් අටදෙනාම තත්පර දහයකට අඩු කාලයකින් තරගය නිමා කිරීමද කැපී පෙනෙන සිදුවීමකි.
එසේ සිදු වූ ලොව පළමු අවස්ථාව මෙයයි.
මේ අතර ඇමරිකාවට මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම හිමි වූයේ වසර විස්සකට පසුව වන අතර අවසන් වරට ඇමෙරිකාවට ලොව වේගවත්ම මිනිසාගේ කිරුළ දිනා දුන්නේ 2004 වසරේදී ජස්ටින් ගැට්ලින් විසිනි.