තමා පැහැර ගැනීමට උත්සාහ කරන බවට ඇතිවූ වැරදි වැටහීමකින් වෛද්‍යවරියක් ගිලන් රථයකින් පැනීමේ සිද්ධියක් නෙළුම්බුලම පොලිසියෙන් වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් ගිලන් රථ රියැදුරකු සහ රෝහල් සේවකයකු අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරිය බව වවුනියාව නෙලුක්කුලම පොලිසිය පවසනවා.
වවුනියාව රෝහලට අයත් ගිලන් රථයක් වවුනියාව රෝහලේ සිට වවුනියාව පම්පෙමඩුව ආයුර්වේද රෝහලේ නේවාසික රෝගී සම්බාහන වාට්ටුව වෙත රාත්‍රී ආහාර රැගෙන ගොස් ඇති අතර, ආයුර්වේද රෝහලට ආහාර ලබා දී නැවත පැමිණෙන අවස්ථාවේ රෝහලේ සිටි වෛද්‍යවරියක තමන් වවුනියාව නව බස් නැවතුම්පොළ වෙත ඇරලවන ලෙසට රියැදුරුට සඳහන් කර ගිලන් රථයට ගොඩවී ඇති බව නෙලුක්කුලම පොලිසිය පවසනවා.
එහිදී ගිලන් රථ රියැදුරු පම්පෙමඩුව පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ගිලන් රථයට ඉන්ධන පුරවාගෙන වවුනියාව බස් නැවතුම්පොළට යාමට පිටත්ව ඇති අතර, වවුනියාව බස් නැවතුම්පොළ වෙත කෙටි මාර්ගයකින් ගමන් කිරීමට රියැදුරු ගිලන් රථය හරවා ඇතැයි ද සඳහන් වනවා.
ඒම අවස්ථාවේ සුපුරුදු මාර්ගයෙන් ගිලන් රථය ගමන් නොකිරීම හේතුවෙන් ආයුර්වේද වෛද්‍යවරිය බියවී ගිලන් රථයෙන් එළියට පැන තමන් පැහැරගෙන යාමට කටයුතු කරන බවට කෑ ගසා ඇති බව පොලිසිය සඳහන් කරනවා.
සිද්ධිය වූ අවස්ථාවේ මාර්ගයේ සිටි පිරිසක් ගිලන් රථ රියැදුරා හා සේවකයා රථයෙන් බස්සවා අල්ලාගෙන ඇති අතර, සිදුවීම පිළිබඳ සිතාගැනීමට නොහැකිව රියැදුරුගේ ඉල්ලීම මත ප්‍රදේශවාසියකු නෙලුක්කුලම පොලිසිය වෙත දැනුම්දී නිලධාරීන් පැමිණි පසු විමර්ශනය සඳහා රියැදුරු සහ සේවකයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.
එහිදි ගිලන් රථ රියැදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, තමන් කෙටි මාර්ගයකින් වවුනියාව බස් නැවතුම්පොළ වෙත ගමන් කිරීමට පිටත් වූ බවත් එම අවස්ථාවේ වෛද්‍යවරිය එකවර බියවි කෑ ගසා රථයෙන් බිමට පැන ඇති බවයි.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, වෛද්‍යවරිය බස්නැවතුම වෙත කෙටි මාර්ගයෙන් රැගෙන යාම සිදු කරන බවට ගිලන් රථයේ රෝහල් සේවකයා ද්‍රවිඩ භාෂාවෙන් ගිලන්රථ රියැදුරුට පවසා මාර්ගය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී සිංහල පමණක් දන්නා වෛද්‍යවරිය එය තේරුම් ගැනීමට නොහැකිව වරදවා තේරුම් ගෙන කෑ ගසා ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බවයි.