ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විවිධ ස්ථානවල ගාල් කර යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.
අදාළ වාහන විධිමත් ලෙස ලද ඒවා නම් එය ජනාධිපති ලේකම් කාර්යාලයට භාරනොදී මෙලෙස තැන් තැන්වල ගාල් කර යාමට අවශ්‍යතාවක් නොමැති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
අද (25) බාලදක්ෂ මාවතේ පිහිටි රථ ගාලට පැමිණ එහි නවතා තිබූ වාහන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා මෙලෙස අදහස් පළකලා.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස බලයට පත්වීමත් සමග විවිධ පුද්ගලයින් මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන තැන් තැන්වල ගාල් කර ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා,
“අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූවාට පස්සේ මේ වාහන මෙතනට ගෙනල්ලා නවත්තලා තිබෙනවා. අනුර මහතා ජනාධිපති නොවූනානම් අදටත් මේවා පාරේ දුවනවා. මෙතෙක් කල් අපේ රටේ මහජන දේපොළ පාවිච්චි කරලා තියන විදිය තමයි මේ. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 833න් වාහන 29ක් 2022 වෙනකොටත් අතුරුදන්. හිටපු ජනාධිපතිවරුන් මේ වාහන ගිලලද ගියේ. මෙලෙස මහජන දේපොළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරනවා. ඒ සම්බන්ධයෙන් අපි රටට හෙළිකරනවා. මේ නවත්වලා ගිය දේපොළ මේ ජනතාවගේ දේපොළ. මෙහෙම මග දාලා හැංගිලා යන්නේ ඇයි. අයිති නැති දේවල් පාවිච්චි කරපු නිසායි. මේක මහජන දේපොළ අවභාවිතාවක්. මේ වාහන මග දාලා ගිය අයගේ තොරතුරු අරගෙන අපි පරීක්ෂණ පවත්වනවා. “