වර්තමානයේ ආඝාත රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
මේ වන විට සෑම පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාතය වැළදීමේ ප්‍රවණතාවක් පවතින බව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා සඳහන් කළා.
ලබන 29 වන දිනට යෙදී ඇති ලෝක ආඝාත දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පැවසුවා.
බොහෝ රටවල මියයෑමේ ප්‍රධාන හේතු අතර ආඝාතය තුන්වන සහ පස්වෙන ස්ථාන අතර පවතිනවා.
දරුණු රෝගී තත්ත්වයක් වන ආඝාතය කිසිදු පෙර දැනුම්දීමක් නොමැතිව වැළඳෙන බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.
අධි රුධිර පීඩනය, දියවැඩියාව, ව්‍යායාම අඩු බව, දුම් පානය, අධික මත්පැන් භාවිතය, ක්ලොස්ට්‍රෝල් මට්ටම වැඩි බව, මානසික ආතතිය, තරබාරුකම සහ හෘද රෝගයේ ස්පන්දන වෙනස්කම් ආඝාත රෝගය වැළදීමට බලපාන ප්‍රධාන කරුණු බව ස්නායූ රෝග විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය පැවසුවා.
ආඝාතයට 50%ක් අධි රුධිර පීඩනය බලපාන බවත් සෑම ආඝාත රෝගීන් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව තිබෙන බවයි ඇය කීවේ.
වසරකට ඇති වෙන ආඝාත තත්ත්වයනේ මිලියනකට පමණ හේතුවෙන්නේ ව්‍යායාම මද බවයි. නිතිපතා ව්‍යායාමවල යෙදීමෙන් ආඝාතයට තුඩු දෙන කරුණු අඩු කර ගැනීමට හැකි බව විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.