නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පවතින කොස් හිඟය නිසා බැදපු කොස් ඇටයක මිල රුපියල් පහක් දක්වා ඉහළ ගොස් ඇත.
සෝයා මීට් නිෂ්පාදනය සඳහා ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල වැවෙන පොලොස් සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ තොරතුරු සඳහන් කරයි. මෙම ඉල්ලුම හේතුවෙන් ඇතැමුන් නොමේරූ පොලොස් ගැට පවා කොස් ගස්වලින් කඩා සෝයා මීට් කර්මාන්තශාලාවලට අලෙවි කරන බව පැවැසේ.
එම කර්මාන්තශාලාවලින් පොලොස් කිලෝවක් රුපියල් 30 ක් වැනි මිලකට මිලදී ගැනීම නිසා ඇතැමුන් පුද්ගලික වතුවලින් පවා පොලොස් හොරෙන් කැඩීමට පවා පෙළඹී ඇතැයි තොරතුරු අනාවරණය වේ.
මෙලෙස පොලොස්වලට තිබෙන ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් කොස් පළදාව සීග්‍රයෙන් පහත වැටීම නිසා ඇතැම් ප්‍රදේශවල කොස් හිඟයක් පවතින බවද පැවැසේ. මෙම තත්ත්වයන් මත කොස් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ද වැඩිවී ඇත.
බැදපු කොස් ඇටයක් මේ දිනවල රුපියල් පහකට අලෙවි කෙරෙන අතර, ආහාර වශයෙන් පිළියෙල කිරීමට කොස් මදුළු පවා සොයා ගැනීමට නොමැති බවද වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.