Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ මව්පියන්ට ඉතා වැදගත් දැනුම්දීමක්

4 weeks ago 18.3 K

තම දරුවාගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල දෙස බලා, ඉන් පීඩාවට පත් වී කඩයිම ජයගත් දරුවන්ගේ ප්‍රතිඵල හා සංසන්දනය කරමින් සිය දරුවන් ව මානසික ව හා ශාරීරික හිංසනයන්ට ලක් නොකරන ලෙසට ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසනවා.

2024 වර්ෂයට අදාළ ව පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය 23 වනදා පස්වරුවේ නිකුත් වූ අතර ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණට පැමිණීමට හෝ එය ඉක්මවා යාමට නොහැකි වූ දරුවන් හට ඔවුන්ගේ ආත්ම ශක්තිය ප්‍රහීන වන ආකාරයෙන් දෙමාපියන් හෝ ගුරුවරුන් හෝ කටයුතු නොකළ යුතු බවයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ.

එමෙන්ම අදාළ ප්‍රතිඵලය ගැන දරුවන් දිගින් දිගටම දුක් වන්නේ නම්, රාත්‍රියට හරි හැටි නිදා නොගන්නේ නම්, මානසිකව එය ම පවසමින් කටයුතු කරන්නේ නම් වඩාත් තම දරුවා ගැන සැලකිලිමත් විය යුතු බව ද රූමි රූබන් මහතා කියා සිටියා.

මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන් බලාපොරොත්තු වූ පරිදි ලකුණු නොලැබුණ ද දරුවන්ගේ දෙමාපියන් ද ඉන් අනවශ්‍ය ලෙස සිත් තැවුලට හෝ මානසික ආතතියට පත් නොවන ලෙසටයි වෛද්‍යවරයා දැනුම්වත් කර සිටින්නේ.

ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු පසු කිරීමට නොහැකි වුවත්, කිසිම විටෙක තම දරුවාට දක්වන ආදරය, මිත්‍රත්වය, ඇහුම්කන් දීම දුරස් නොකළ යුතු බවට තරයේ දෙමාපියන්ට අවවාද කරන විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා කියා සිටින්නේ තම දරුවා ප්‍රිය කරන විනෝද ගමනක් හෝ වෙන යම් දෙයක් ලබාදීමෙන් ඔහු හෝ ඇයට ඇති ආදරය පෙන්වීම මෙවන් අවස්ථාවක දරුවාගේ අනාගත අභිවෘද්ධියට බලපානු ඇති බවයි.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් ව අනවශ්‍ය ලෙස අගය කිරීම් නොකර අවශ්‍ය පරිදි අගය කර, ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපනික කටයුතු අවසන් වන තෙක් ඒ පසුපස අවධානයෙන් සිටිමින් උනන්දු කිරීම දෙමාපියන්ගේ වගකීමක් බව ද රූමි රූබන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *