අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් පසු ඥානා මෑණියගේ දේවාලයට ගොස් පූජාවක් පවත්වා යළි නිවස බලා පැමිණෙමින් සිටියදී සිය නැගණියට වෙඩි වැදුණු බව දංඕවිට ප්‍රදේශයේදී වෙ’ඩි ප’හරකට ලක්ව මියගිය ඉරේෂා ශ්‍යාමලීගේ වැඩිමහල් සොහොයුරු ප්‍රසාද් කුමාර වතුපිටිවල රෝහලේදී සාක්කි දෙමින් ඊයේ (03දා) සඳහන් කළේය.
“අනේ මගේ රත්තරන් දුව අයියලත් එක්ක අනුරාධපුරේ ගිහින් සඳුදට ගෙදර එනවා කියලා මට කෝල් කරලා කිව්වා. දැන් ඉතින් මගේ දුව නැතිව මං කොහොම ජීවත් වෙන්නද දෙයියනේ” පොලිස් වෙ’ඩි තැබීමක ඉලක්කය වැරදී මිය ගිය ඉරේෂා ශ්‍යාමලීගේ මවගේ ඒ විලාපයෙන් හබුරුගල පළාතම කම්පනයට පත්ව තිබේ.
බෙන්තර, හබුරුගල, වන්නිගහවත්තේ පදිංචිව සිටි බෝමිරියගේ දොන් ඉරේෂා ශ්‍යාමලී (29) නමැති තරුණියගේ ඛේදජනක මරණය කාගේත් දෙනෙත් කඳුළින් තෙමයි. ඉරේෂාට තදබල ග්‍රහ අපල ඇතැයි ඇසූ ඇගේ වැඩිමල් සොහොයුරා “අම්මේ නංගිට ලොකු අපලයක් තියෙන බව කිව්වනේ. මම හිතා ඉන්නේ නංගිට සෙත් කවියක් ලියවගෙන ඒක අනුරාධපුරේට ගිහින් කියවන්න. ඒ ගමන් දින හතක් විතර අනුරාධපුරේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරියේ බෝධි පූජාවකුත් තියන්න ඉන්නේ. ඒක නිසා නංගිව අපේ ගෙදරට එවන්න.” අම්මාට පවසා ඇත.
ඒ අනුව ඇය කිරිබත්ගොඩ පදිංචි අයියාගේ ගෙදරට ඉරේෂා ගියාය. අයියාත්, නෑනාත් සමඟ දින හයක්ම අනුරාධපුරයට ගොස් සෙත් කවියත් කියවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරියේ බෝධි පූජාත් පවත්වා හය වැනි දවසේ මේ තිදෙනා කොළඹ බලා එන බස් රථයකට ගොඩවූයේ රෑ මැදියම් කාලයේය. නිදිමත ඉහ වහා ගොස් තිබූ නිසා බසයේ සිටි සෑම දෙනාටම තදින් නින්ද ගිය අතර බස් රථයද වේගයෙන් ධාවනය වෙමින් තිබිණි.
ඒ ඇයගේ අවසන් නින්ද යැයි ඇයවත් අයියා හා අක්කාවත් දැන නොසිටින්නට ඇත. පොලිසිය මේ අතර කොල්ලකරුවන් රැසක් සමඟ පලා යන වෑන් රථයක් ලුහු බඳිමින් සිටි අතර, මරුවා වෙ’ඩි උ’ණ්ඩයක සැඟවී බස් රියේ පිටුපස වීදුරුවත් කඩා ගෙන ඇයගේ සියලු අපල උපද්‍රව සමඟ දිවි සැරියද නිම කර දැමීමට තරම් කුරිරු වූයේ කවුරුත් නොසිතූ අයුරිනි.
බෙන්තර, හබුරුගල උපන් ඉරේෂා අධ්‍යාපනය ලැබුවේ ඇළකාක මහා විදුහලෙනි. දක්ෂ ශිෂ්‍යාවක ලෙසින් අපොස උසස් පෙළ පවා සමත් වුවද ඇයට සරසවි වරම් නොලැබුණි. එහෙත් ඉන් අධෛර්යයට පත් නොවූ ඇය ටික කලක් බෙන්තොට සමුපකාර සමිතියට අයත් මහගොඩ බැංකු ශාඛාවේද සේවය කොට, පසුව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පාඨමාලාවක් හදාරා පශ්චාත් උපාධියක් පෞද්ගලික ආයතනයකින් ලබා ගෙන ඇත.
හබුරුගල ශ්‍රී පුඤ්ඤරතන දහම් පාසලේද දීප්තිමත් ශිෂ්‍යාවක වූ ඇය ළඟදීම කැනඩාවේ රැකියාවකට යාමේ අපේක්ෂාවෙන් වීසා ලැබෙන තුරු බලා සිටි බව ඇයගේ මව සුනේත්‍රා ජයමාන්න මහත්මිය අප සමඟ පැවසුවේ දෑසින් රූරා ඇද හැලෙන කඳුළු වැල් පිස දමමිනි. ඒ සඳහා ඉරේෂාට උදව් කළේ කැනඩාවේ සිටින මිතුරියකි.
සුනේත්‍රා ජයමාන්න මහත්මියට වයස අවුරුදු 66 කි. අයියාත් නංගිත් පණට පණ සේ ආදරයෙන් සිටි බව මව පැවසුවාය. නංගීගේ අපලය ගැන දැන ගත් මොහොතේ සිටම අයියා සිට ඇත්තේ දැඩි කනගාටුවකිනි. දින හතක්ම අනුරාධපුරයට ගොස් පුද පූජා පවත්වා ඇත්තේද ඒ නිසාමය. එදා මේ වෙ’ඩි වැදුනට පස්සේ පුතා මට කෝල් කරලා කිව්වා. “බස් එක වේගෙන් ආවලු. වෙ’ඩි පත්තු කරන සද්දයක් ඇහුනාම එයා හිතුවේ පාන්දර කඨින පෙරහරක් යනවා කියලලු. පස්සේ බලන කොට නංගිගෙ නහයෙන් ලේ ගලනවලු. එයා කෑ ගහලා කිව්වාම බස් එක ඉස්පිරිතාලෙට හැරෙව්වාලු.
“අම්මේ, මම කැනඩා ගිහින් ආවට පස්සේ මේ ඉඩමේ අවුල් නිරවුල් කර ගෙන අපේ ගේ ලස්සනට හදා ගනිමු. මට ඔය ආණ්ඩුවේ රස්සාවල් කරලා නිකම් පඩි ගන්න බැහැ. මොකක් හරි පෞද්ගලික ආයතනයක රස්සාවක් කරනවා” යැයි, ඇය නිතරම අම්මා සමඟ පවසා ඇත්තේ ඔවුන්ගේ ගෙවත්ත මැදින් ඇති පාර ඉවත් කර ගැනීමට ඇයට දැඩි වුවමනාවක් තිබුණු නිසාය. “අම්මේ තාත්තටත් කියන්න ඔය කුඹුර මත්තේ නැහෙන්න ඕනෑ නැහැ, අපි කඩෙන් හාල් ගෙනැත් කමු අම්මේ, දැන් තාත්තටත් වයසයිනේ, ඔහොම මහන්සි වෙන්න පුළුවන්ද” කියලා නිතරම දුව කිව්වා.
අප එහි යන විටත් ඇයගේ දේහය නිවෙසට ගෙනැවිත් නොතිබුණි. ඒ වන විටත් මරණය පිළිබඳව පරීක්ෂණ නිම වී නොමැත. ඇයගේ දේහය පිළිබඳව අවසන් කටයුතු 05 වැනි බදාදා පස්වරුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ඇයගේ මව අප සමඟ පැවසුවාය.