Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වංචනික පෙම්වතුන්ගෙන් ප්‍රවේශම් වෙන්න! පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්!

5 hours ago

සමාජ මාධ්‍ය සහ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් සිදුවන අයුතු බලපෑම්, මුදල් හා දේපළ කොල්ලකෑම් මෙන්ම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාව වෙත විශේෂ දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයේ දැක්වෙන්නේ, වංචනික පුද්ගලයින් විවාහ කරගන්නා බවට ව්‍යාජ පොරොන්දු දී කාන්තාවන් මුළා කිරීමේ සිදුවීම් මෑතකාලීනව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි.

විවිධ ආහාර සහ බීම වර්ග ලබා දී මත් කිරීම හෝ සිහිසුන් කිරීම මඟින් කාන්තාවන් නොමනා ක්‍රියාවන්ට ලක් කිරීම සහ දේපළ සොරකම් කිරීම් බහුලව සිදුවන බව පොලිසිය පවසනවා.

මීට අමතරව, වංචනික පෙම්වතුන් ලෙස පෙනී සිටිමින් කාන්තාවන්ගේ විශ්වාසය දිනාගෙන, පසුව මුදල් හා දේපළ ලබාගෙන අවසානයේ මනුෂ්‍ය ඝාතනවලින් කෙළවර වූ අවාසනාවන්ත සිදුවීම්ද නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය පොලිස්පතිවරයාගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, අවධානමට ලක්විය හැකි අයවළුන් පිළිබඳ තොරතුරු රැස් කිරීමට සියලුම පොලිස් ස්ථාන, මහජන ආරක්ෂක කමිටු, බුද්ධි සහ සිවිල් නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිසිය අවධාරණය කරනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට, විශේෂයෙන්ම කාන්තාවන්ට පහත සඳහන් උපදෙස් පිළිපදින ලෙස ඉල්ලා සිටිනවා.

මුදල් හා දේපළ ආරක්ෂාව: අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා නාඳුනන පුද්ගලයින් විශ්වාස කර මුදල්, ස්වර්ණාභරණ හෝ වටිනා දේපළ ලබා නොදෙන්න.

සංවේදී දත්ත හුවමාරුව: ඔබගේ සංවේදී හෝ ආදරණීය ඡායාරූප සහ වීඩියෝ දර්ශන නාඳුනන සහ සැක සහිත පුද්ගලයින් වෙත කිසිවිටෙකත් ලබා නොදීමට වගබලා ගන්න.

පුද්ගලික තොරතුරු: ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් අංක, පෞද්ගලික ලිපිනයන් වැනි රහස්‍ය තොරතුරු නාඳුනන අයට ලබාදීමෙන් වළකින්න.

ආරාධනා ප්‍රතික්ෂේප කිරීම: සැක සහිත දුරකථන ඇමතුම් හෝ පණිවිඩ හරහා යම් ගනුදෙනුවකට හෝ හමුවීමකට කරනු ලබන ආරාධනා ප්‍රතික්ෂේප කරන්න.

ඔබ හෝ ඔබ දන්නා හඳුනන අයෙකු මෙවැනි වංචාවකට හෝ බලපෑමකට ලක්ව ඇති බව හැඟී යන්නේ නම්, වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.

එමෙන්ම, 118 / 119 / 107 / 109 යන දුරකථන අංක ඔස්සේ ද කඩිනමින් පොලිසිය දැනුවත් කිරීමේ හැකියාව පවතින බවයි එම නිවේදනයේ සඳහන්.

මෙවැනි වංචනිකයන්ගේ උගුල්වලට හසු නොවී, තමන්ගේ ආරක්ෂාව සහ ගෞරවය සුරක්ෂිත කර ගැනීමට නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *