මැදපෙරදිග ගෘහ සේවයේ නිරතව සිටියදී පීඩාවන්ට පත්වන ශ්‍රී ලාංකික කාන්තාවන් මෙරටට ගෙන්වා ගැනීම, ඔවුන්ට අවශ්‍ය නීතිමය සහාය ලබාදීම සහ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස කම්කරු සහ විදේශ කටයුතු අමාත්‍යවරයාට සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පසුගිය (07)වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.
ඕමානයේ ගෘහ සේවයට ගොස් හිරිහැරයට ලක්ව අතරමංව සිටින වවුනියාවේ පදිංචි සෙල්ලයියා කාලි අම්මා නමැති කාන්තාවක් වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් මෙම පෙත්සම ගොනුකළේය.
එහි වගඋත්තරකරුවන් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ. ඒ. එම්. හිල්මි ඇතුළු එහි අධ්යක්ෂවරු, කම්කරු සහ විදේශ රැකියා ඇමති මනුෂ නානායක්කාර, එම අමාත්‍යාංශ ලේකම්වරයා, ඕමානයේ තානාපති අමීර් අජ්වාඩ් ඇතුළු එකොළොස් දෙනෙක් නම්කර තිබේ.
පෙත්සම්කාර කාලි අම්මා නමැති කාන්තාව 2022 වසරේ අප්‍රේල් මස ගෘහ සේවය සඳහා ඕමානයට ගිය බවත් ඕමානයට යාමට පෙර ඇය ලෙබනනයේ අවුරුදු 06ක් ද කුවේටයේ අවුරුදු 03ක් ද ගෘහ සේවයේ නිරත වී ඇති බවත් පෙත්සමේ සඳහන් වෙයි.
ඕමානයේ නිවසක මෙහෙකාර සේවයට ගිය පසු එම නිවසේ දී ඇය තාඩන පීඩනවලට පත්වූ බවත් ඇයගේ වැඩ අසතුටුදායක බව සඳහන් කරමින් ඇයව නිවසින් පිටත් කිරීමට එම නිවසේ හාම්පුතුන් කටයුතු කළ බවත් එහි සඳහන් වේ.
ඉන් අනතුරුව අදාළ කාන්තාව ඕමානයේ පිහිටා ඇති ආරක්ෂක මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති අතර එහි අගතියට පත් කාන්තාවන් 30 දෙනෙකු පමණ සිටි බවත් එහි සිටින කාන්තාවන් විවිධ අතවරයන්ට ලක්වන අතර ඔවුන්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබෙන බවත් පෙත්සමේ චෝදනා කර තිබේ.
පසුව කාලි අම්මා ඇතුළු එහි රැඳී සිටි කාන්තාවන් විරෝධතාවයක් ආරම්භ කළ අතර ඉකුත් මැයි මස 25 වනදා ඔවුන්ව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම කාන්තාව නැවත ලංකාවට ගෙනැවිත් දෙන ලෙස වව්නියාවේ පිහිටි විදේශ සේවා නියුක්ති සේවා කාර්යාංශ කාර්යාලයෙන් ඇයගේ පවුලේ සාමාජිකයන් ඉල්ලීම් කළ බවත් ඒ සඳහා මුලින්ම රුපියල් ලක්ෂ 10ක මුදලක් සහ පසුව රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාදෙන ලෙස එහි නිලධාරීන් ඉල්ලා සිටි බවත් එතරම් මුදලක් ඇයගේ පවුලේ සාමාජිකයින් සතුව නොමැති බවත් පෙත්සමේ සඳහන් කොට තිබේ.
මෙම කාන්තාවට නීතිමය සහායක් ලබාගැනීමට හැකියාවක් නොමැති තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් අදාළ කාන්තාව යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර නීතීඥවරයා අධිකරණයෙන් අයැද සිටි.
එමෙන්ම ඇයට එරෙහිව ඕමානයේ පැවැත්වෙන නඩු කටයුතුවලදී නීතිඥ සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය කරන මූල්‍යමය සහාය ලබාදීමට කටයුතු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිලධාරීන්ට නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සමින් අයැද තිබේ.
මැදපෙරදිග ගෘහ සේවය සඳහා පිටත්වන කාන්තාවන්ගේ අයිතිවාසිකම් මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැවරී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කාර නීතීඥවරයා මෙම ක්‍රියාව තුළින් කාලි අම්මා නමැති කාන්තාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටී.


පාසල් පෙළපොත් සම්බන්ධයෙන් නව දත්ත පද්ධතියක්
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
තවදුරටත් ඉහළ අගයක පවතින රත්‍රං මිල
LPL සමාරම්භක උළෙලේදී ඩ්‍රෝන යානා 500ක සංදර්ශනයක්
හෙට සිට බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්
ඩෙංගු මරණ සංඛ්‍යාව තවත් ඉහළට
සැමියාගෙන් පහර කෑ 29 හැවිරිදි බිරිඳ මරුට
කොදෙව්වන්ට එරෙහි දෙවැනි තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට
කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටී ඇතුළු හෝටල් කෑම මිල පහළට
ඩෙංගු නිසා සරසවි වැසීමේ අවදානමක්?
කරන්නාගොඩ අත්අඩංගුවට ගත් නඩුවේ සම්පූර්ණ විස්තරය එළියට! යෝෂිතගේ අධ්‍යාපන සුදුසුකම් හෙළිවෙයි!
2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්