Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නීතීඥවරයෙකුගේ නීතීඥ කබාය ගැලවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

8 months ago

අභියාචනාධිකරණ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා ඉවත්කිරීම තුළින් නීතීඥ ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඩබ්. ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසිකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී විසින් අදාළ නීතිඥවරයාට එරෙහිව සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනි වික්‍රමසිංහ, අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව  අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අභියාචනාධිකරණයේ ලේඛනාගාරයට පිවිස නඩු ගොනුවක් ලබාගෙන අනීතික ලෙස එහි පිටු දෙකක් ඉරා ඉවත් කර ඇති බවට මෙම වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

ඉන් අනතුරුව අභියාචනාධිකරණයේ ලේඛකාධිකාරී ඩබ්ලිව්.එස්.බී.එස්. ප්‍රනාන්දු විසින් මරදාන පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ නීතිඥවරයා මාළිගාකන්ද මාහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 2023 වසරේ ජනවාරි මස 25 වනදා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණු බවත් නඩු තීන්දුවේ සඳහන් වෙයි.

ඉන් අනතුරුව නීතිඥභාවය ඉවත් නොකිරීම සඳහා නිදහසට කරුණු දක්වන ලෙස දන්වා අධිකරණ සංවිධාන පනතේ 42(3) යටතේ චෝදනා පත්‍රයක් නිකුත් කළ අතර, ඔහු එම චෝදනාවලට නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

මෙම චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි විභාගයක් පැවති අතර එහිදී වගඋත්තරකාර නීතිඥවරයාද සාක්ෂි ලබා දී ඇත. 

ඉදිරිපත් වූ කරුණු මත තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සංවිධාන පනතේ 40 වන වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිඥවරු ලෙස පිළිගෙන බඳවා ගනු ලබන්නේ හොඳ කීර්තියක් ඇති සහ දක්ෂ දැනුමක් සහ හැකියාවක් ඇති පුද්ගලයින් පමණක් බව මතක තබා ගත යුතු යැයි සඳහන් කළේය.

මෙම වතාවරණය මත වගඋත්තරකාර නීතිඥවරයාගේ ක්‍රියා කලාපය සමස්තයක් ලෙස මේ රටේ නීති වෘත්තියේ කීර්ති නාමයට කැළලක් ඇති කර ඇති ආකාරය පෙන්වීමට තවදුරටත් හේතු දැක්වීම අවශ්‍ය යැයි තමා නොසිතන බවත් අගවිනිසුරුවරයා සිය තීන්දුවේ ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව  වගඋත්තරකාර නීතිඥවරයා අධිකරණ සංවිධාන පනතේ 42 වන වගන්තිය ප්‍රකාරව ඔහු වහාම නීතිඥ භාවයෙන්  ඉවත් කිරීමට නියෝග කරන බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සිය තීන්දුවේ දී සඳහන් කළේය.

ඒ අනුව මෙම නියෝගය අනුව කටයුතු කර අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එහි රෙජිස්ටර්වරයාට කළ නියෝගය වැඩිදුරටත් සඳහන් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *