නිවස ඉදිරිපිට මිදුලේ පාපැදියක් පදිමින් සිටි හත් හැවිරිදි දැරියක ඇඟමතින් මෝටර් රථයක් ගමන් කිරීමෙන් බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මොරගහහෙන මිල්ලෑව පොල්වත්ත පදිංචිව සිටි දිනිති සත්සරණි ජෑන්ස් නැමැති දැරියයි.
නිවසට මදක් ඈතින් තිබෙන තරමක කන්දක් සහිත අතුරු මාර්ගයේ සිට අධික වේගයෙන් පැමිණ තිබූ මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව දැරිය පදිංචි නිවසේ ගේට්ටුව ද කඩාගෙන මිදුලට කඩා වැදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථය මිදුලට කඩා වැදීමත් සමගම දැරිය පදිමින් සිටි පාපැදියේ ගැටී එයත් සමග ඉදිරියට ඇදී ගොස් නිවස පිටුපස දක්වා අධික වේගයෙන් ගොස් මෝටර් රථය නැවතී ඇතැයි පොලිසිය කියයි.
මෝටර් රථය එලෙස අධික වේගයෙන් ගමන් කරද්දී නිවසේ බිත්තියක ගැටී කුහරයක් සෑදී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින බරපතළ තුවාල ලද දැරිය හොරණ මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබී ඇතැයි පොලිසිය කියයි.