Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට එරට පොලිසියෙන් ගුටි පූජාවක්

8 hours ago

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසන්ට එරට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් වාර්තා වේ. ඊයේ (13) රාත්‍රියේ චැටෝග්‍රෑම්හිදී සිදුව ඇති මෙම කනගාටුදායක සිදුවීම හේතුවෙන් මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

තරගයකට සහභාගී වීමෙන් අනතුරුව ත්‍රීරෝද රථයකින් සිය නිවස බලා යමින් සිටි නයීම්ව, චැටෝග්‍රෑම්හි ලාල්ඛාන් බසාර් ප්‍රදේශයේදී කිසිදු ප්‍රමාණවත් හේතුවක් නොමැතිව පොලීසිය විසින් නවතා තිබේ. තමන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බව ඔහු මෙන්ම අවට සිටි පිරිස් කොතරම් ප්‍රකාශ කළද, එය නොසලකා හැර ඇති පොලිස් නිලධාරීන් ඔහුව බලහත්කාරයෙන් වෙනත් ත්‍රීරෝද රථයකට දමාගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඇත.

“මම කවුද කියලා ඔවුන්ට නැවත නැවතත් කිව්වා. නමුත් ඔවුන් මම කියන දේ ඇහුවේ නෑ. පොලීසිය මට අමානුෂික ලෙස පොලුවලින් සහ ප්ලාස්ටික් පයිප්පවලින් ගැහුවා” යැයි නයීම් සිය අමිහිරි අත්දැකීම විස්තර කරමින් පැවසීය.

පොලිස් ස්ථානයේදී ඔහුව හඳුනාගැනීමෙන් පසුව ද, එහි ස්ථානාධිපතිවරයා ඔහුට හිස පහත් කරගෙන සිටින ලෙස තර්ජනාත්මකව පවසා තිබේ. නියම පොලිස් නිලධාරීන් නම් තමන්ව පොලිස් රථයකින් නොගෙන ත්‍රීරෝද රථයකින් රැගෙන ගියේ මන්දැයි ප්‍රශ්න කරන නයීම්, තමන්ට සිදුවූ මෙම අසාධාරණය වෙනුවෙන් යුක්තිය සහ සාධාරණ පරීක්ෂණයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

BCB සහ ක්‍රීඩකයින්ගෙන් දැඩි විරෝධයක්

මෙම සිදුවීම සැලවීමත් සමඟ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) වහාම ක්‍රියාත්මක වී ඇති අතර, අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇත. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ඇතුළු බංග්ලාදේශ ක්‍රීඩකයින් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සිය දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

පොලිසියේ ප්‍රතිචාරය සහ නයීම්ගේ පසුබිම

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චැටෝග්‍රෑම් මෙට්‍රොපොලිටන් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් අමිරුල් ඉස්ලාම් ප්‍රකාශ කර සිටියේ, අදාළ සිදුවීමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි විනය පියවර ගන්නා බවයි.

2018 වසරේදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව සිය ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් 26 හැවිරිදි නයීම් හසන්, මේ වනවිට ටෙස්ට් තරග 14කට සහභාගී වී ඇත. එසේම, මෙම මස අගදී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ එකම ටෙස්ට් තරගය සඳහා නම් කළ 15 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයට ද ඔහු ඇතුළත්ව සිටීම විශේෂත්වයකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *