ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය.
අද දින විවාදයට ගනු ලබන විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.
දුෂණය, සංවිධානාත්මක අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකයින්, අපරාධ හා දේශපාලනය යන සියල්ල මැඩපැවැත්විය යුතු බවත් ඒ සඳහා නීති හා රාජ්‍ය ආයතන ඇති බවද සඳහන් කර ජනාධිපතිවරයා අද වනවිට අවාසනාවකට මෙන් විපක්ෂය මේ සියල්ලේ ප්‍රධාන චුදිතයා බවට පත්ව ඇති බවද සඳහන් කළේය.
අපරාධ මැඩලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා විශාල කාර්යභාරයක් ඉටුකරන බවත් අද ඔහු විපක්ෂයේ සතුරෙකු බවට පත්ව ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, අමාත්‍ය ආනන්ද විජේපාල, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් දිලීප පීරිස් මහතා හා අධිකරණය ද අද වනවිට විපක්ෂයේ සතුරෙකු වී ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
“අද වෙද්දි සාධාරණය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය විපක්ෂයට ඔරොත්තු දෙන්නේ නෑ.. රාජ්‍ය ඇතුළේ සිට රාජ්‍ය අනුග්‍රහය ලබමින් අපරාධ කර ඇත්නම් අපරාධකරුවන් හෙළි කළ යුතු නැද්ද ? එය රට පාවාදීමක් ද ? එය දේශද්‍රෝහීවීමක් ද ? නෑ ඒ ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමේ අභිප්‍රාය. අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් බවට පරිවර්ථනය කළ යුතුයි.”
“අපේ රට තිබුණේ අශිෂ්ට රාජ්‍යයක්. අපේ හමුදාවන්, බුද්ධි අංශ කෙරෙහි ගෞරවය, ඇගයීම, හෘදයාංගභාවය අපි තුළ තිබෙනවා. හැබැයි අපේ හමුදාවන්, බුද්ධි අංශ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඉටුකර ඇති කැපකිරීම්වලට, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යම් කාර්යභාරයක් කරන විට කොතැනක හෝ ඔවුන් පීඩවට පත්වෙන්නේ නම් අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා…දේශීයවත්, ජාත්‍යන්තරවත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ආරක්ෂාවන් වෙනුවෙන් හමුදාවන් හා බුද්ධි අංශ ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් ඔවුන් ඔ්නෑම තැනක ආරක්ෂා කරන්නත් ගෞරව කරන්නත් අපි බැඳී ඉන්නවා. අපි ඒ කාර්ය කරනවා.
හැබැයි හමුදාවේ හෝ බුද්ධි අංශයේ කුඩා කණ්ඩායම් රාජ්‍ය උවමනාවකට, යම් පවුලක බලය වෙනුවෙන්, දේශපාලන කඳවුරක බලය වෙනුවෙන් යම් කාරණා ඉටුකර ඇත්නම් ඒ සඳහා නිසි දඬුවම් ලබාදෙන්න අපේ ආණ්ඩුව පැකිලෙන්නේ නෑ..
තමන්ගේ බලය පවුලක සහ තමන්ගේ දේශපාලන කඳවුරක බලය වෙුනවෙන් කරන ලද අපරාධ තාජුඩීනුත් එහෙමයි, පාස්කු ප්‍රහාරයත් එහෙමයි… මේ ඔක්කෝම පිටුපස ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රණයක මෙහෙයුම්කරුවන් හිටියා. මේක හෙළිදරව් කරන්න ඔ්නේ නැද්ද රටට. රටේ සුදුවෑන් බියක් තිබුණේ නැද්ද ? අංක තහඩු නැති සුදු වෑන්වලින් තමන්ගේ වත්තේ ගේ කඩනවාට විරුද්ධ වුණ මිනිහාව පැහැරගත්තා. මේවා සිවිල් ගැටුම් නෙමෙයි. කුඩා කණ්ඩායමක් තමන්ගේ දේශපාලන උවමනාවෙන් යෙදවලා මේ මිලේච්ඡ ඝාතනයන් කරලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම මිලේච්ඡ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැඳී සිටිනවා.”
මේ සඳහා විරුද්ධ විය හැක්කේ අපරාධවලින් වාසි ගත්ත අයට පමණක් බවද පැවසු ජනාධිපතිවරයා, පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට කවුරුන් හෝ බියවද්දමින් තර්ජනය කරන්නේ නම්, ඔවුන් වෙනුවෙන් රජය පෙනී සිටින බවත් පොදු ජනතාව ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවද පැවසීය.
“කට්ටිය හිතුවා මේවා කාලයේ වැලිතලාවෙන් යටවෙයි කියලා. එහෙම වෙන්න දෙන්නේ නෑ. අපරාධකරුවන් නිසි පරිදි නීතිය හමුවට පැමිණීම තමා අපේ රාජකාරිය. විමර්ශන කරලා, අත්අඩංගුවට අරන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු දාලා අධිකරණයෙන් අපි දඬුවම් දෙනවා. ඝාතනයෙන් බේරගන්න කප්පම් ගත්ත ඉතිහාසයක් තිබුණා. අද උදේ ගත්ත අයගේ රහස් හෙළිවෙයි ඔයාලට. ඔයාලා තවදුරටත් එහෙම අයව පක්ෂයේ තියාගෙන ඉඳිද.
දේශපාලන අධිකාරිය මේ මත්කුඩු, මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ වර්ධනයට ඉවහල් වෙලා තියෙනවා. අපි මුළුමනින්ම දේශපාලන අධිකාරිය මේ සඳහා ලබාදෙන රැකවල් මුළුමනින්ම අහෝසි කරනවා. කවුරු දේශපාලන පළිගැනීම් කියන්න එපා. අපිට බලය දුන්නේ කුමක් වෙනුවෙන් ද? විශාල ජන වරමක් තිබුණා. ඒ ඇතුළේ හරයක් තිබුණා. ඒක තමා අපේ රාජ්‍ය ශිෂ්ට සම්පන්නභාවයට පරිවර්තනය කරන්නේ. පාර්ලිමේන්තුව ශිෂ්ට විය යුතුයි.
අපිට පැවරී ඇත්තේ යළි මේ රටට ශිෂ්ටත්වය කැඳවාගෙන ඒම. එය පාර්ලිමේන්තුව තුළ ද, රාජ්‍ය ආයතන තුළ ද, මේ සියල්ල තුළට යළි ශිෂ්ටත්වය කැඳවාගෙන ඒමේ අරගලයේ අපි නිරත වී සිටිනවා…”
“සල්ලි පන්නලා තියෙනවා රටෙන් එළියට..ඒවා අද හෙළිවෙලා තියෙනවා. කිහිපදෙනෙක් අපි අත්අඩංගුවට අරන් තියෙනවා. පරීක්ෂණ පවත්වමින් තියෙනවා. දුෂණයෙන් උපයාගත් ධනය තමා ඩෙලර් හරහා එළියට ගිහින් තියෙන්නේ. ලංකාවේ ඇතුළේ රුපියල් වලින් වෙන්න පුළුවන් හැබැයි රටින් පන්නලා තියෙන්නේ ඩොලර් විදියට. මේ රටේ ආර්ථිකය හා සමාජ දේහය බිඳ වැටීම සඳහා දුෂණය ඉවහල් වෙලා තියෙනවා.. කිසි කෙනෙකුගේ පෞද්ගලික පළිගැනීමක්, කෝන්තර පිරිමහා ගැනීමේ උවමනාවක් අපිට නෑ. මේ පළිගැනීමක් නෙමෙයි. කුඩු සල්ලි, අපරාධකරුවන්ගේ සල්ලි, දූෂණයෙන් උපයා ගන්නා සල්ලි ඔක්කෝම ගිහින් තියෙන්නේ TT හරහා. “
අපි මේ රටේ පොදු ජනයාට දුෂණය, වංචාව පිළිබඳ දඬුවම් ලබාදීම ගැන තියෙන අපේක්ෂාවට පණ පොවන ආණ්ඩුව බවට පත්වෙමින් තියෙනවා. ඒක කරනවා. ජීවිත අවදානම අරන් තමා සමහරු විමර්ශන සිදුකරන්නේ. ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. ඒ අනුව විශාල ප්‍රාමණයකට අපි වරෙන්තු අරන් තියෙනවා. වීශාල ප්‍රමාණයක් අධිකරණයට මුහුණදෙන්න බැරුව පලාගිහින් තියෙනවා. මේක පළිගැනීම නෙමෙයි. අපරාධකරුවන්ටත් තමන් පිළිබඳ තියෙන කරුණු මැනවින් අධිකරණයට ඉදිරිපත් කරලා, නිදහස් වීමේ අයිතිය තියෙනවා.
අපේ ආණ්ඩුව ආවට පස්සේ හෙරොයින් කිලෝ 3,390ක්, කොක්න් කිලෝ 304ක්, අයිස් කිලෝ 5,543ක්, කුෂ් කිලෝ 1,521ක් සහ මත්පෙති 5,110,731ක් සහ මත්කරල් 2,454,267ක් අත්අඩංගුවට ගෙන තියෙනවා. අපි විශාල වෙහෙසක් දරනවා මේ විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න. මුහුදු සීමාවේ නාවික හමුදාව විශාල කාර්යභාරයක් කරනවා. හැබැයි තාමත් වෙනවා. හැමතැනම මැඩපවත්වන්න අපි ක්‍රියා කරනවා. තරාතිරම නැතුව අපි අත්අඩංගුවට අරන් තියෙනවා.
ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමටත් විශාල වෙහෙසක් ගන්නවා. මේ වෙද්දිත් අපි රතු නිවේදන නිකුත් කරපු 23 දෙනෙක් පිරට සිට ලංකාවට ගෙනල්ලා තියෙනවා. තවත් විවිධාකාරයෙන් මේවට සම්බන්ධ 35ක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. සමහරු බන්ධනාගාරයේ සිට මේවා මෙහෙයවුවා.
මෙලෙස සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීම සඳහා ගත හැකි විශාල තීරණ හා ක්‍රියාමාර්ග ආණ්ඩුව ගෙන ඇති බවත් මෙය එක් රැයකින් අවසන් කළ නොහැකි බවද පැවසු ජනාධිපතිවරයා, මත්ද්‍රව්‍ය ජාලය මුළුමනින්ම ලංකාවෙන් තුරන් කරන බවද මෙහිදී පැවසීය.
මේ සඳහා ගනු ලබන කිසිදු ක්‍රියාමාර්ගයක් ප්‍රජාතන්ත්‍රවාදයට පිටින් සිදුනොකරන බවද පැවසු ජනාධිපතිවරයා, කිසිවෙකුත් පාලකයාට බිය විය යුතු නැතැයි ද කියා සිටියේය.
අපිට අවශ්‍ය වන්නේ පාලකයාට බිය සමාජයක් නොවන බවද පැවසු ජනාධිපතිවරයා, පාලකයා නිරන්තරයෙන් ප්‍රශ්න කරන පාලනයක් බවද පැවසීය.
“දීර්ඝ කාලයක් 1979 දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේනකොට විශේෂ විධි විධාන තාවකාලික පනත් ගෙනවා. අවුරුද්දක තාවකාලික පනතක් ලෙස PTA ගෙනාවේ. දැන් අවුරුදු 46ක් මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා සටනක් තිබුණා. තමන්ගේ නිදහස පිළිබඳ ප්‍රාර්ථනාවක් තියෙන මිනිස්සු මේ දැඩි නීතිය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා රටේ. දීර්ඝ කාලයක් ජනතාව ඒ පනත අහෝසි කරන්න කියලා අරගල කලා. මම ඔබට කියන්න කැමතියි මේ වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි වෙනවා.”
සංවිධානාත්මක අපරාධවලට අර්ථ නිරූපණය හරියටම සංක්ෂිප්ත කරලා, එය සකස් කරනවා. එහි පුළුල් පරාසයක් තියෙනවා. අපි ඉතා ඉක්මනින් මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම්, භාෂණයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය මුළුමනින්ම ආරක්ෂා වෙන පරිදි සංශෝධනයකට යටත්ව කරනවා. සංවිධානාත්මක අපරාධ පනත මුළුමනින්ම සංවිධානාත්මක අපරාධ ඉලක්ක කරගත් නිර්වචනයකට යටත්ව අපි අලුත් පනත ගේනවා.
අධිකරණය පිළිබඳව විශාල ආන්දෝලනයක් තුඩුදී තිබෙනවා. මා අග්‍රවිනිශ්චාකාරතුමාට උපරිමාධිකරණවල විනිසුරුවන් පත් නොකිරීම පිළිබඳව විමසීමක් කළා. එතුමා ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් එවලා තියෙනවා. මොකක්ද හේතුව? අපි බලන්නේ, අධිකරණයක එක්කෙනෙක් විශ්‍රාම යාම පිළිබඳව නෙවෙයි. මුළු අධිකරණ පද්ධතියේම පැවැත්ම පිළිබඳව අපි කල්පනා කරනවා. අද මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයක් වැහිලා තියෙනවා. නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලා තිබෙනවා. ඒත් ත්‍රිපුද්ගල මහාධිකරණ පත් කරන්න විනිසුරුවන් නැතිව ඉන්නවා. ඒ වගේම සමහර තැන්වල ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවන් වැඩිපුර කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා පහළ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තිබෙනවා. පහළ බඳවගෙන ඉදිරියට යන්න ඕනේ. අලුතින් මහේස්ත්‍රාත්වරුන් 50 දෙනෙක් බඳව ගන්න අධිකරණ සේවා කොමිෂන් සභාව අවසර දුන්නා. දැන් සම්මුඛ සාකච්ඡා පවත්වාගෙන යනවා මා දන්නා තරමින්. ඒකෙන් 33 දෙනෙක් තමයි තෝරගෙන තිබෙන්නේ. ඒ 33 දෙනා සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන්නයි පස්සේ කොපමණ ප්‍රමාණයක් තෝරගනියි ද කියලා දන්නේ නැහැ. එවැනි හැකියාවන් තියෙන, පිරිස අපි තෝරගන්න ඕනේ. ඒ නිසා පහළ අධිකරණ කඩාවැටෙන්න ඉඩ නොදී උපරිමාධිකරණවල පත්වීම් ගැන තීරණය ගන්න ඕනේ.
පහළ අධිකරණවල විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියාගෙන යන්න බැහැ. උපරිමාධිකරණවල ඇති වෙලා තියෙන පුරප්පාඩු ඉතා කෙටි කාලයකදී පිරවිය හැකියි. මම දැක්කා කැරට් අලයක් දීලා නඩු තීන්දු ගන්න තියාගෙන ඉන්නවා කියලා. ඒක තරම් විනිසුරුවරුන්ට කරන අපහසයක් නැහැ. පුරප්පාඩු කිහිපයක් තියෙනවා. ඔයගොල්ලෝ ආණ්ඩුවට පක්ෂව නඩු තීන්දු දුන්නොත්, ඔයාට මේවා දෙනවා කියලා. ඒ වගේ අපහස කරන්න එපා අපේ අධිකරණ පද්ධතියට. විනිසුරුවරුන්ට අපහස කරන්න එපා. අද විනිසුරුවන් ඉතාමත් දීර්ඝ වෙලාවක් වැඩ කරනවා. නඩු විශාල ප්‍රමාණයක් අහනවා. නීතිය හොඳින් පසඳළමින් වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න අවශ්‍ය කාර්යය කරමින් සිටිනවා. අපිට කිසිසේත්ම අධිකරණ පාලනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට මාධ්‍ය පාලනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපිට උද්ඝෝෂණ පාලනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. වෙනදා හැමදාමත්ම මාධ්‍ය බෙදිලා තිබුණා. අපිට අදාළ නැහැ මේවා. ඒගොල්ලන්නට විවේචනය කරන්න අයිතිය තියෙනවා. අපිව ප්‍රශ්න කරන්න අයිතිය තියෙනවා. ආණ්ඩුවක් වැරැද්දක් තියෙනවා නම් පෙන්වලා දෙන්න අයිතිය තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ඉගෙනගනිවී කියලා විශ්වාස කරනවා. මොකක්ද ඒගොල්ලන්ගේ ශිෂ්ට සම්පන්න රාමුව. අපි උගන්වන්න යන්නේ නැහැ. එයාලා කොයි වෙලාවේ හරි ඉගෙනගනීවි. පොදු සමාජය ඉන්න තැන තේරුම් ගන්න ඕනේ. මාධ්‍ය පරණ කුණුගොඩේම ඉදිමින්, සමාජය ඉස්සරහට ගියොත්, මාධ්‍යවලට සමාජයේ තියෙන පැවැත්ම අහෝසි වෙනවා.“

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් පිරිසකට අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නොතීසි
රෝහිත රාජපක්ෂ පිටව යයි
ජනපති අනුර ප්‍රංශ සංචාරයකට සැරසෙයි
2027 වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ
ජනපති හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණෙයි
රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පනයක්! පුද්ගලයින් 32කට දිවි අහිමි වෙයි!
බොරතෙල් බැරලයක මිල යුද්දයට පෙර පැවති මිල දක්වා පහත වැටෙයි
සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට
ජූලි 1 වනදා සිට 15%කට අධික බස් ගාස්තු වැඩිවීමක්?
භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුගේ කැරැට්ටුව එළියට! මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ!
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට