Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද

4 minutes ago

නියමුවන් රහිත මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා සේවාවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරක් ලෙස එහි පළමු නිල අත්හදා බැලීම අද (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

චීනයේ Yi Hang සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන eVTOL වර්ගයේ මගී ඩ්‍රෝන යානා මේ සඳහා යොදා ගැනීමට නියමිතය.

ධාවන පථයක අවශ්‍යතාවකින් තොරව සිරස්ව ගුවන්ගත වීමට සහ ගොඩබැසීමට හැකි මෙම යානා මගී ප්‍රවාහනය, සංචාරක කර්මාන්තය සහ හදිසි සේවා සඳහා යොදා ගැනීම පිළිබඳව පසුගිය අගෝස්තු මාසයේදී වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය මුලින්ම වාණිජ සේවාවක් ලෙස නොව පරීක්ෂණ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, මාස හයක පමණ කාලයක් කොළඹ වරාය නගර පරිශ්‍රයේදී අත්හදා බැලීම් සිදුකිරීමට නියමිතය.

මේ සඳහා මගීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි E216 වර්ගයේ ඩ්‍රෝන යානයක් ද පසුගියදා මෙරටට ගෙන්වා තිබේ.

ප්‍රචාලක 16කින්, බැටරි කට්ටල 12කින් සහ ගුවන්යානා පාලන පද්ධති තුනකින් සමන්විත මෙම යානය පරිගණක පද්ධතියක් මගින් පාලනය කෙරේ.

එමෙන්ම එක් පාලන මධ්‍යස්ථානයක සිට දුරස්ථව යානය මෙහෙයවීමට හැකි අතර, හදිසි අනතුරක් හෝ සන්නිවේදන බිඳවැටීමක් සිදුවුවහොත් ස්වයංක්‍රීයව ආරක්ෂිත ක්‍රියාමාර්ග වෙත යොමුවීමේ හැකියාව ද ඊට ඇතුළත් බව සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය, ගුවන් හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක සම්බන්ධීකරණය ද අවශ්‍ය වේ.

මෙම මගී ඩ්‍රෝන යානා සේවාව අනාගතයේදී ක්‍රියාත්මක කිරීම තුළින් සීගිරිය, පිදුරංගල සහ දූපත් ආශ්‍රිත සංචාරක ගමනාන්ත වෙත ගුවනින් සංචාරකයින් ප්‍රවාහනය කිරීමේ නව අවස්ථා උදාකර ගැනීමට ද අපේක්ෂා කෙරේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *