Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

භෞත චිකිත්සකවරියගේ මරණයේ සැකකරුගේ කැරැට්ටුව එළියට! මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ!

2 hours ago

රට තුළ ආන්දෝලනයක් මතුකළ භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලිසියට හැකිව තිබේ.

ඒ අනුව එම මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ, ගෙල සිරකිරීමෙන් එම මරණය සිදුව ඇති බවය.

ප්‍රධාන සැකකරු හා ඔහුගේ බිරිඳ පොලිසිය විසින් ඊයේ (24) යාපනයේදී අත්අඩංගුවට ගැනීමත් සමග තවත් කරුණු අනාවරණය කරගැනීමට හැකිව ඇත.

සිද්ධියේ පසුබිම සහ මළ සිරුර සොයාගැනීම

පසුගිය ජූනි 17 වැනිදා තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තාවකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගන්නා ලදී. මෙලෙස මියගොස් තිබුණේ අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක් ලෙස සේවය කළ 34 හැවිරිදි ශම්‍යා දර්ශනී නැමැති තැනැත්තියකි.

ඇයගේ පෙම්වතා විසින් ඇගේ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් තිබූ අතර, ඔහු සිරුර රැගෙන යන අයුරු CCTV දර්ශනවලද සටහන්ව තිබුණි.

පොලිස් විමර්ශන සහ සැකකරුවන් කොටුකර ගැනීම

දින 7ක් පුරා සැකකරු සෙවීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරුණි. 

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) තාක්ෂණික සහාය ඇතිව සිදුකළ මෙහෙයුමකදී සැකකරු වැල්වත්ත ප්‍රදේශයේ සිට යාපනය දෙසට ගමන් කරමින් සිටින බව අනාවරණය විය.

ඒ අනුව ක්‍රියාත්මක වූ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්, සැකකරු ගමන් කරමින් සිටි බස් රථය චාවකච්චේරිය, කයිතඩි ප්‍රදේශයේදී වටලා සැකකරු, ඔහුගේ බිරිඳ සහ එක් දරුවකුව අත්අඩංගුවට ගත්තේය.

වෙස්වලාගෙන පලායාමේ උත්සාහය

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු තොප්පියක් සහ මුව ආවරණයක් පැලඳ සිටි අතර, ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක ලෙස වෙස්වලාගෙන සිට ඇත. 

සැකකරු නිතර භාවිත කළ බොරු කොණ්ඩයක්ද (Wig) ඔහු සතුව තිබී පොලිසිය විසින් සොයාගන්නා ලදී. ඔවුන් යාපනය හරහා ඉන්දියාවට පලායාමට සැලසුම් කර තිබූ බවට පොලිසිය සැකකරයි.

සැකකරුගේ ප්‍රකාශය

තමා මියගිය කාන්තාව නැවතී සිටි කාමරයට යන විට ඇය ගෙල වැළලාගෙන සිටි බවත්, බියට පත්ව සිරුර මෝටර් රථයේ දමා තෙල්දෙණියට රැගෙන ආ බවත් සැකකරු පවසයි. 

කෙසේ වෙතත්, වෛද්‍ය වාර්තා මගින් මෙය ගෙල සිරකර මැරීමක් බව සනාථ කර ඇත. තවද ඇයගෙන් තමා මුදල් ලබාගත්තද එය රුපියල් කෝටි එකහමාරක් නොවන බවද ඔහු කියා සිටියි.

සැකකරුගේ බිරිඳගේ ප්‍රකාශය

සැකකරු විසින් රවටනු ලබන කාන්තාවන්ට තමා ඔහුගේ “වැඩිමහල් සහෝදරිය” ලෙස හඳුන්වා දී මෙම වංචාවලට සහාය දුන් බව පවසා ඇත.

තමන්ට සිටින දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු පසුගිය 21 වැනිදා නාරම්මල පිහිටි මහගෙදරට ඇරලවූ බවද ඇය පැවසුවාය.

පලායාමට උදව් කළ අයෙක් අත්අඩංගුවට

නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුට නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සැපයූ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සේවකයෙකුද අත්අඩංගුවට ගැනුණි.

ඔහුගෙන් හෙළිවූ තොරතුරු

මරණය සිදුවූ 16 වැනිදා පස්වරුවේ ප්‍රධාන සැකකරු මළ සිරුර සහිත මෝටර් රථයෙන්ම කුණ්ඩසාලේ පිහිටි මෙම සේවකයාගේ නිවසට පැමිණ ඇත.

අනතුරුව සැකකරුගේ බිරිඳ සහ දරුවන් තිදෙනාද එම රථයෙන්ම කැඳවාගෙන විත් ප්‍රාදේශීය සභා සේවකයාගේ නිවසේ රැය පහන් කර තිබේ.

පසුදින සිරුර තෙල්දෙණියට රැගෙන යන විට ප්‍රාදේශීය සභා සේවකයා යතුරුපැදියකින් මෝටර් රථය පසුපසින් ගොස් ඇති අතර, සිරුර දැමීමෙන් පසු සැකකරුව නැවත යතුරුපැදියෙන් සිය නිවසට කැඳවාගෙන විත් ඇත.

පසුව මෙම පිරිස මාතලේ පිහිටි සැකකරුගේ මවගේ නිවසට ඇරලවීමටද ඔහු උදව් කර ඇත. සැකකරු මෙම සේවකයාගේ බිරිඳගෙන්ද රුපියල් ලක්ෂ 5ක මුදලක් වංචා කර තිබේ.

සැකකරුගේ ස්ත්‍රී වංචා ජාලය

පොලිස් විමර්ශනවලට අනුව ප්‍රධාන සැකකරු වයස අවුරුදු 30ට වැඩි, අවිවාහක කාන්තාවන් ඉලක්ක කර ගනිමින් විවාහ කරගන්නා බව පවසා රවටන මහා පරිමාණ වංචාකරුවෙකි.

මියගිය භෞතචිකිත්සකවරිය අම්පාර රෝහලේදී ඔහුට හමුව ඇත්තේ ඇයගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවකය.

සැකකරු කාන්තාවන් රවටා ලබාගන්නා මුදල්වලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති අතර, ඔහු විවිධ කූඨ උපක්‍රම මගින් කාන්තාවන් රැවටූ සමස්ත මුදල රුපියල් කෝටි දෙකකට අධික බව අනාවරණය වී ඇත.

ඔහු කටුගස්තොට ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක්ද ආරම්භ කර ඇති අතර, එහි සේවය කළ තරුණියකගෙන්ද රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීමට සූදානමින් සිට ඇත.

ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැනට නුවරඑළිය පොලිසිය වෙත භාරදී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *