Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වත්කම් – බැරකම් ප්‍රකාශ භාර දීමේ කාලය දීර්ඝ කරයි! ඒ ගැන ඔබ දැන සිටිය යුතු ම කරුණු 6ක්!

35 minutes ago

2026 මාර්තු 31 දිනට ඇති වාර්ෂික සහ පශ්චාත් විශ්‍රාම වත්කම් සහ බැරකම් ප්‍රකාශ, 2026 ජූනි 30 වන දිනට හෝ ඊට පෙර සිදු කළ යුතු බවට මීට පෙර නිවේදනය කර තිබිණි.

දූෂණ විරෝධී පනත ප්‍රකාරව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු තැනැත්තන් සඳහා, වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ස්ථාපනය කරනු ලැබ ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා පමණක් සිදු කළ යුතු ය.

එසේ වුව ද, 2026 ජූනි 28 වන දින සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට දිනක් තුළ ඇතුළු වූ අධික පරිශීලක ප්‍රවේශය හේතුවෙන් පද්ධතිය තුළ සිදුවූ තදබදය මත, ජනතාවට තාක්ෂණික දෝෂයන්ට මුහුණ දීමට සිදුවූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිරීක්ෂණය තිබේ.

ඒ අනුව, මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියේ සාර්ථකව ලියාපදිංචි වී තිබියදීත් 2026 ජූනි 30 වන දින හෝ ඊට පෙර තම වත්කම් හා බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිලධාරීන්ට සහ 2026 ජූනි 30 වන දින හෝ ඊට පෙර මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට පිවිස ලියාපදිංචි වීමට උත්සහ කළ නමුත් තාක්ෂණික දෝෂ හේතුවෙන් ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට, 2026 ජූලි 7 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දඩ අය කිරීමකින් තොරව තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇතැයි එම කොමිෂන් සභාව නිවේදනය කරයි.

එම අවසන් දිනයෙන් පසුව, අගෝස්තු මස 31 දක්වා වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සිදු කළ හැකි නමුත් එවිට ප්‍රමාද වීම සම්බන්ධයෙන් දඩ මුදලකට යටත් වීමට සිදුවේ.

2023 දූෂණ විරෝධී පනත හඳුන්වා දීමෙන් පසුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු අයගේ පරාසය පුළුල් කරන ලදී.

1. වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු අය කවුද?

මෙලෙස වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු පිරිස් සම්බන්ධයෙන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80 වැනි වගන්තියේ දක්වා තිබේ.

එම පිරිස් පහත පරිදි වේ.

  • ජනාධිපති
  • අගමැති
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරු
  • පළාත් ආණ්ඩුකාරවරු
  • පළාත් සභා මන්ත්‍රීවරු සහ පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරීන්
  • පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයන් සහ මාණ්ඩලික නිලධාරීන්
  • ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන විනිසුරුවරුන් සහ රජයේ නිලධාරීන්
  • අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන රජයේ නිලධාරීන්
  • අමාත්‍යංශවල සහ රජයේ දෙපාර්තමේන්තුවල මාණ්ඩලික නිලධාරීන්
  • ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ රාජ්‍ය බැංකුවල මාණ්ඩලික නිලධාරීන්
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයින්
  • ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ නිලධාරීන් සහ ගුවන් හමුදාවේ නිලලත් නිලධාරීන්

මෙයට තවත් විශාල ලැයිස්තුවක් ඇතුළත් වන අතර ඔවුන් සියල්ලන් ම සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සිදු කළ යුතු ය.

2. ලබා දිය යුතු තොරතුරු මොනවා ද?

මීට පෙර අයැදුම් පත්‍රයක් පුරවා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දුන්න ද මේ වසරේ සිට සියලු දෙනා එම ප්‍රකාශ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා ලබා දීම සිදු කළ යුතු ය.

මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය නිර්මාණය කර ඇත්තේ 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව යි.

මෙහි පළමුව ගිණුමක් සාදාගත යුතු අතර, ඉන්පසුව වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සිදු කළ යුතු පුද්ගලයා සහ ආවරණය වන තැනැත්තන්ගේ තොරතුරු පද්ධතිය වෙත ඇතුළත් කළ යුතු ය.

ඒවා පහත පරිදි වේ.

ආදායම

  • ස්ථිර අදායම
  • වෙනත් ආදායම් මාර්ග

නිශ්චල දේපළ

වාහන

අභරණ සහ වෙනත් වටිනා භාණ්ඩ

පේටන්ට් බලපත්‍ර, ප්‍රකාශන හිමිකම් ආදිය වැනි වාණිජකරණය කළ හැකි වත්කම්

මූල්‍ය වත්කම්

  • අත ඇති මුදල්
  • ගිණුම් සහ ඉතුරුම්
  • වෙනත් ආයතනවල හෝ පුද්ගලයන්ට ලබා දී ඇති තැන්පතු
  • අතථ්‍ය සහ ඩිජිටල් මුදල්
  • ලබා දී ඇති ණය මුදල්
  • භාර
  • භාරයන් සතුව ඇති දේපළ

ආයෝජන සහ ආයතනික අභිලාෂයන්

  • කොටස්
  • රක්ෂණ යෝජනා ක්‍රම හෝ සැලසුම්වල ඇති ආයෝජන
  • වෙනත් ආකාරයන්ගේ ආයෝජන
  • ආයතනික අභිලාෂයන්

වියදම්

  • ප්‍රධාන වියදම්

වගකීම්

  • ණය සහ මූල්‍ය පහසුකම්
  • වෙනත් ආකාරයේ වගකීම්

සාරාංශය සහ දිව්රුම් ප්‍රකාශය

3. ජනතාවට තොරතුරු දැන ගැනීමට හැකියාව ඇත්තේ කෙසේ ද?

මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලබා දෙන වත්කම් සහ බැරකම් ප්‍රකාශ https://ads.ciaboc.lk වෙබ් අඩවියේ පල කෙරෙන අතර ඒවා මහජනතාවට පරිශීලනය කළ හැකි ය.

ජනාධිපතිවරයා, අගමැති, කතානායක, අගවිනිසුරු ඇතුළු ඉහළ අධිකරණ විනිසුරුවරුන්, විපක්ෂ නායක, කැබිනට් ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මහබැංකු අධිපති සහ විදේශීය දූත මණ්ඩලවල ඉහළ නිලධාරීන් ඇතුළු රජයේ ඉහළ තනතුරු දරන අයගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මෙහි ඇතුළත් කර තිබේ.

4. නියමිත දිනට ලබා නොදුන්නොත් දඬුවම් ලැබෙනවා ද?

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු රංග දිසානායක පසුගිය දා මාධ්‍යට පැවසුවේ සියලු දෙනා අදාළ දිනය වන විට වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම සිදු කළ යුතු බවත්, එලෙස නොකරන පිරිස් හට දඩයකට යටත් වීමට සිදුවන බවත් ය.

“ජූනි 30ට පෙර වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන් ම ඔබ දඩ මුදලකට යටත් වෙනවා, සමහර වෙලාවට ඔබට දරාගත නොහැකි තරම් වන දඩ මුදලක් විය හැකි යි, එය තමයි පනතේ ප්‍රතිපාදන,” අධ්‍යක්ෂ් ජනරාල් වරයා කියා සිටියේ ය.

වත්කම් හා බැරකම් ප්‍රකාශ මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතියට තවමත් ලියාපදිංචි වී ඇත්තේ සුළු පිරිසක් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 80.1 වගන්තිය යටතේ සඳහන් කර ඇති සියලු දෙනා මේ අනුව ජූනි 30ට පෙර සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම කළ යුතු බව ඔහු කියා සිටියේ ය.

“එය ප්‍රමාද වීම මම පෙර කියපු විදිහට දඩයකට හෝ අධිකරණ ක්‍රියාමාර්ගයකට ලක්විය හැකි වෙනවා,” අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

5. ඇතුළත් කාණ්ඩ පිළිබඳ ඔබ තවමත් නොදැනුවත් ද?

කෙසේවෙතත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ තවමත් බොහෝ පිරිස් ඔවුන් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව නොදැන සිටින බව යි.

මේ නිසා පහත සඳහන් අය ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව ඔහු කියා සිටියේ ය.

  • වෘත්තීය සමිතිවල විධායක නිලධාරීන්
  • ප්‍රවෘත්ති ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ ලියාපදිංචි පුවත්පත්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සාමාජිකයින්
  • බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සාමාජිකයින්
  • ක්‍රීඩා පනත අනුව පිහිටවනු ලැබූ ක්‍රීඩා සංගම්වල නිලධාරීන්
  • රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලු ම මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්

ඊට අමතව මෙවර නව කාණ්ඩයක් ද ඇතුළත් කර ඇති අතර ඒ අනුව, රේගු ආඥා පනතේ 115 වන වගන්තිය ප්‍රකාරව බලපත්‍රලාභී රේගු අනු නියෝජිතයින් [වාප්පු ලිපිකරුවන්] ද වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු ය.

6. සහයක් අවශ්‍ය ද?

වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ඔබට ඇති ඕනෑ ම ගැටලුවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අමතා විමසීමට හැකි ය.

එහි ක්ෂණික ඇමතුම් අංකය වන 1954, 0767011954 අංක ඇමතීමෙන් හෝ 0112587287 ඇමතීමෙන් ඔබට අවශ්‍ය විස්තර දැනගැනීමට හැකි ය.

(source – bbc sinhala)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *