Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්

16 minutes ago

මෙරට ජනගහනයෙන් සියයට 19ක පමණ පිරිසක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

ඒ අනුව මෙරට සෑම පුද්ගලයින් පස්දෙනෙකුගෙන් එක් අයෙකු පමණ දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවත්, මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ අගයක් විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝග අතරට එක්ව ඇති බව පෙන්වා දුන් ඒ මහතා එම රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

විශේෂයෙන්ම රෝග ලක්ෂණ නොමැති වුවද ජනතාව නිරන්තරයෙන් සෞඛ්‍ය පරීක්ෂාවන් සඳහා යොමුවිය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දියවැඩියාව මුල් අවස්ථාවේදී හඳුනාගෙන නිසි ප්‍රතිකාර හා පාලනයකට යොමු වීමෙන් පසුකාලීන සංකූලතා රැසක් වළක්වා ගත හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේ නොවුවහොත් රෝගය සංකීර්ණ වීම හේතුවෙන් මිල අධික ප්‍රතිකාර සඳහා යොමු වීමට සිදුවිය හැකි බවත්, එය පුද්ගලයාගේ ජීවන තත්ත්වයට මෙන්ම රටේ සෞඛ්‍ය පද්ධතියටද දැඩි බලපෑමක් එල්ල කරන බවත් ඔහු පැවසීය.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා,

“දියවැඩියාව කියන්නේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට තිබෙන ලොකුම අභියෝගවලින් එකක්. මොකද අපේ ජනගහනයෙන් සෑම පස්දෙනෙකුගෙන්ම එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකු ලෙස අප හඳුනාගෙන තිබෙනවා. දළ වශයෙන් ගත් විට එය සියයට 19ක පමණ ප්‍රතිශතයක්. නමුත් මේ සංඛ්‍යාව මීටත් වඩා වැඩි විය හැකියි. අපේ රට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දර්ශක අතින් ඉහළ තැනක සිටියත්, බෝ නොවන රෝග අතරින් විශේෂයෙන්ම දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වළක්වා ගැනීම සම්බන්ධයෙන් අප තවමත් සිටින්නේ පසුපසින්.ඊට හේතුව තමයි අපි බොහෝ දෙනෙක් සිතාගෙන සිටින්නේ අපට කිසිදු රෝගයක් නැහැ කියන එකයි. විශේෂයෙන්ම දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම ඉතා වැදගත්.

ඒ නිසා කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණත්, ජනතාව වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවී තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.ඔබ රෝගී වීම ඔබට පමණක් නොව සමස්ත රටටම බලපානවා. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සෞඛ්‍ය පද්ධතියටත් විශාල බරක් එකතු වීමයි. අඩු වියදමකින් ලබාගත හැකි ඖෂධීය ප්‍රතිකාර මගින් පාලනය කළ හැකි දියවැඩියාව, පසුව සංකූලතා දක්වා වර්ධනය වුවහොත් බයිපාස් සැත්කම් වැනි විශාල ශල්‍යකර්ම දක්වා යොමුවීමට සිදුවිය හැකියි.ඒ නිසා ආර්ථිකමය වශයෙන් මෙන්ම ජීවිතයේ ගුණාත්මකභාවය අතින්ද මෙම රෝග පාලනය කර ගැනීම ඉතා වැදගත්. මෙවර අයවැය තුළින් ද බෝ නොවන රෝග සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය වැඩි කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. අපට වඩාත් වැදගත් වන්නේ රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමයි. එසේ නොමැතිව රෝග සංකූලතා ඇති වූ පසුව ඒවා හඳුනා ගැනීමට සිදුවීම අප වැනි රටකට දරා ගැනීම තරමක් අපහසුයි.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *