2022 වසරේ එංගලන්තයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගී වී, ඉන් අනතුරුව මෙරටට නැවත නොපැමිණීමෙන් රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයින් දස දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.
ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු ආරම්භ කළ බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දුන්නා.
මෙම සැකකාර ක්‍රීඩකයින් දස දෙනාට එරෙහිව ඉදිරියේදී රතු වරෙන්තු නියෝග නිකුත් කිරීමට ද අපේක්ෂා කරන බව විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා තිබෙනවා.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතේ (2019 අංක 24) 5 සහ 6 වගන්ති යටතේ ඔවුන්ට චෝදනා ඉදිරිපත් කර ඇති බවද නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා.
2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 116 දෙනා අතරින්, නැවත මෙරටට නොපැමිණි පිරිස අතරට මල්ලව පොර ක්‍රීඩකයන් 3ක්, ජූඩෝ ක්‍රීඩකයන් 2ක්, බොක්සිං ක්‍රීඩකයන් 2ක්, වොලිබෝල් ක්‍රීඩකයන් 2ක්,ඇතුළත් වනවා.
අසේල ද සිල්වා, චමිලා දිලානි, එස්. චතුරංග, වයි. නික්ලස්, අශේන් රශ්මික, එස්. මලින්ත, ශ්‍රියන්තිකා ප්‍රනාන්දු, සංජීව රාජකරුණ සහ ජීවන්ත විමුක්ති කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදුවන බවද අධිකරණයට දැනුම් දී තිබෙනවා.
විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටි නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා, අදාළ විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසද නියෝග කළා.