අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව කියන පැමිණිල්ලකින් පසුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය, තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා අසත්‍ය සහ ද්වේෂසහගත බව පවසමින් ඒවා ප්‍රතික්ෂේප කර ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් රජිව් අමරසූරිය සඳහන් කර ඇත්තේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ රහස් ගිවිසුමකට එළඹ ඇති බවට වූ චෝදනා ඇතුළුව පසුගිය සති කිහිපය තුළ තමා පදනම් විරහිත පෞද්ගලික ප්‍රහාර මාලාවකට ලක්වූ බවයි.
පහතින් දැක්වෙන්නේ රජිව් අමරසූරිය සිය ෆේස්බුක් ගිණුමේ ඒ සම්බන්ධයෙන් තබා ඇති සටහනයි.
පසුගිය සති කිහිපය තුළ මා පදනම් විරහිත පුද්ගලික ප්‍රහාර මාලාවකට ලක්වී ඇත.
පළමුව, විපක්ෂ නායකවරයා සමඟ මා රහස් ගිවිසුමකට එළඹී ඇති බවට චෝදනාවක් එල්ල විය.
දැන්, වෘත්තීය විනය කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර 2024 පෙබරවාරි 29 වන දින නීතිඥ වෘත්තියෙන් ඉවත් කරන ලද නාගානන්ද කොඩිතුවක්කු මහතා, ඔහුගේ Vinivida Foundation ආයතනය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත මා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
ඔහු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ ප්‍රකාශයට අනුව, එම පැමිණිල්ල සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ මෝටර් රථ නිෂ්පාදකයෙකුගේ බලයලත් අලෙවි නියෝජිතයා වෙනුවෙන්, ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනෙකු සමඟ එක්ව, අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මා පෙනී සිටි සහ තවදුරටත් පෙනී සිටින නඩු කටයුතු සම්බන්ධ කරුණු වලටය.
සැබෑ කරුණු ඉතා සරලය.
* අධිකරණය ඉදිරියේ මගේ සේවාදායකයා නියෝජනය කිරීම සඳහා නිසි උපදෙස් ලැබූ නීතිඥයෙකු ලෙස, මා පෙනී සිටියේ මගේ වෘත්තීය වගකීම ඉටු කිරීම සඳහා පමණි.
* නාගානන්ද කොඩිතුවක්කු මහතා ද මීට පෙර පැවති ඇතැම් නඩු කටයුතු වලදී වගඋත්තරකරුවෙකු සහ මැදිහත් වන පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටියේය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එසේ පෙනී සිටීම නතර විය.
* මා සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති චෝදනා මම තරයේ ප්‍රතික්ෂේප කරමි. ඒවා අසත්‍ය, ද්වේෂ සහගත වන අතර, මගේ අදහස අනුව වෙනත් අරමුණු ඉටු කර ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති චෝදනා වේ.
සැබැවින්ම, දැනුවත්ව අසත්‍ය චෝදනා ඇතුළත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්නම්, ඊට පිළිතුර සපයන්නේ නීතියමයි. දූෂණ විරෝධී පනතේ 119 වන වගන්තිය අනුව, කොමිෂන් සභාව වෙත දැනුවත්ව අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම වරදක් වන අතර, ඒ සඳහා අපරාධමය දඬුවම් මෙන්ම අසත්‍ය ලෙස චෝදනා ලැබූ පුද්ගලයාට වන්දි ලබාදීමේ විධිවිධාන ද එම පනතේ අන්තර්ගත වේ.
පුද්ගලික ප්‍රහාර මගින් මා කිසිදා අධෛර්යයට පත් වී නැත. ඉදිරියටත් එසේ නොවනු ඇත.
ප්‍රතිපත්තිමය ස්ථාවරයන් මත ස්ථිරව සිටින විට, ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන විට සහ ආයතන හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට සූදානම්ව සිටින විට, විවේචන එල්ල වීම නොවැළැක්විය හැකිය. එය පොදු ජීවිතයේ ස්වභාවික කොටසකි.
වැදගත් වන්නේ සත්‍යය කෙරෙහි අවධානය යොමු කරමින්, තම වෘත්තීය වගකීම් විශ්වාසවන්තව හා අවංකව ඉටු කරගෙන යාමත්, කරුණු තමන් වෙනුවෙන්ම කතා කිරීමට ඉඩ දීමත්ය.
පැරණි කියමනක් මතක් කරන්නේ මෙසේය:
“උසම ගසට තමයි වැඩිම සුළඟ වැදෙන්නේ.”

රුපියල අදත් නගී
සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් වැඩිදුර සලකාබැලීමට දින දෙයි
කොටස් වෙළෙඳපොළෙන් දැවැන්ත පිරිවැටුමක්
අගෝස්තු මාසයට අදාළව ගෑස් මිලේ වෙනසක් නෑ
පාසල් නිවාඩුව ගැන විශේෂ දැනුම්දීමක්
සරසවි වරම් ලැබූ සිසුන්ට දැනුම්දීමක්
රුමේෂ් තරංග ලෝකයෙන්ම අංක 1 වෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
ෂකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
ජැෆ්නා කිංග්ස් LPL අවසන් සටනට
‘ජම්බු’ අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි