Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සම්බාධක?

1 day ago

ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටුවී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක එල්ලවිය හැකි බවට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා ඇතැයි අමෙරිකාවේ “ද වෝල් ස්ට්‍රීට් ජර්නල්” පුවත්පත පවසා තිබේ.

මෙම ඉල්ලීම ආසන්න සති කිහිපය තුළ අමෙරිකානු බලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් සිදුකර ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

අමෙරිකානු අවහිර කිරීම් නිසා දින ගණනක් පුරා කොටුවී ඇති මෙම නෞකාවලින්,  ආහාර ඉල්ලා ඉතා දුක්බර ඉල්ලීම් ලැබෙන නමුත්, රජයේ අනුමැතියක් නොමැතිව සේවා සැපයිය නොහැකි බවට මෙරට නැව් නියෝජිතයින් පවසා ඇති බවද එම පුවත්පත වාර්තා කරයි.

ඉරානයට අයත් හිස් ඉන්ධන ප්‍රවාහන නෞකා 20ක් පමණ ඉන්දිය සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපය නුදුරින් නැංගුරම් ලා ඇති බව විදෙස් මාධ්‍ය අවස්ථා කිහිපයකදීම අනාවරණ කළේය.

ඒ අමෙරිකාව හෝමුස් සමුද්‍රසන්ධියේ නාවික අවහිරයක් ප්‍රකාශයට පත් කළ පසුගිය ජුලි මාසයේ සිටයි.

මෙරට නිරතදිග වෙරළේ සිට සැතපුම් 15ක පමණ දුරකින් නවත්වා ඇති මේ නෞකාවල කොටුවී සිටින නාවිකයින් බරපතළ ආහාර, ඉන්ධන සහ පානීය ජලය හිඟකමින් පීඩාවට පත්ව ඇතැයි අමෙරිකාවේ ‘ද වෝල් ස්ට්‍රීට් ජර්නල්” වාර්තා කර තිබේ.

එම වාර්තාවලට අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් මෙලෙස කොටු වී ඇත්තේ, අමෙරිකානු සම්බාධකවලට ලක්ව ඇති ඉරාන බොරතෙල්, චීනය වෙත ප්‍රවාහනය කළ නෞකායි.

එම නෞකා මැලේසියාව ආසන්නයේ දී චීනය වෙත ඉන්ධන තොග ලබාදී ආපසු පැමිණෙමින් සිටියදී මෙලෙස මෙරට ආසන්නයේ නැංගුරම් ලා ඇති බව වාර්තා වෙයි.

ද වෝල් ස්ට්‍රීට් ජර්නල් අනාවරණයට අනුව ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි ආසියානු රටවල් කිහිපයක් ආසන්නයේම මෙවැනි නෞකා නැංගුරම් ලා තිබේ.

දේශීය නැව් මගින් එම නැව් සහ ඒවායේ කාර්ය මණ්ඩලවලට සැපයුම් ලබාදීමෙන් වළකින්නැයි ආසන්න සති කිහිපය තුළ අමෙරිකානු බලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයි ද මේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මැලේසියාව ආසන්නයේ තිබූ මෙම නෞකාවලින් වැඩි කොටසක් ගෙවුණු මාස දෙක තුළ ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණ ඇත්තේ, ඉරාන නෞකාවලට ඉන්ධන සහ සැපයුම් ලබාදීමට ශ්‍රී ලංකාව මීට පෙරද කටයුතු කර තිබීම හේතුවෙන් බව ජර්නල් පුවත් වාර්තා පවසයි.

මෙම නෞකාවලට සේවා සැපයීමෙන් වළකින ලෙස මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා රජය දැනුම්වත් කර ඇතැයි ද වාර්තාවේ සඳහන් වෙයි.

ඒ, එසේ නොකළහොත් ද්විතීයික සම්බාධකවලට යටත්වීමේ අවදානමට ලක්වන්නැයි ද අනතුරු ඇඟවමිනි.

මෙවන් පසුබිමක, ඉරාන ධජය දරන බහාලුම් නෞකා දෙකක් කොළඹ වරාය සීමාව වෙත පැමිණියත් එම නෞකාවලට ද සේවා සැපයීම “නුවණට හුරු ක්‍රියාවක් නොවන” බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය තමන්ට දැන්වූ බව ජර්නල් පුවත්පත පවසයි.

සම්බාධක මතුවීමේ අවදානම මත ඔවුන් මෙලෙස පැවසූ බව එහි සඳහන් වෙයි.

මෙවැනි තත්ත්වයක මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය සැප්තැම්බර් මාසයේදී ලාංකික නිලධාරීන් 40ක කණ්ඩායමක් සඳහා තෙදින පුහුණු සැසියක් ද පවත්වා තිබේ.

ඒ නැව් නියෝජිතයන්, ඉන්ධන සැපයුම්කරුවන් සහ වෙනත් සේවා සමාගම්, සම්බාධක පනවා ඇති නෞකාවලට “දැනුවත්ව හෝ නොදැනුවත්ව” සහාය වුවහොත් අමෙරිකානු දඬුවම්වලට ලක්වීමේ අවදානම පෙන්වා දීමට බව පුවත් වාර්තාව පවසයි.

ඩුබායි පාදක කරගත් නාවික ඒජන්තවරු, එම නෞකා වෙත ආහාර සහ ඉන්ධන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් රැසක් කර ඇතත්, අමෙරිකාව සම්බාධක පැනවීමට ඇති අවදානම සලකා මෙරට සැපයුම්කරුවන් එම නැව්වලට සහාය දැක්වීමට මැලිබවක් දක්වන බවද වාර්තා වෙයි.

මේ අතර ලාංකික නැව් නියෝජිතයෙක් පවසා ඇත්තේ මෙම නෞකාවලින් ආහාර ඉල්ලා ඉතා දුක්බර ඉල්ලීම් ලැබෙන නමුත්, රජයේ අනුමැතියක් නොමැතිව එසේ කළ නොහැකි බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *