Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දේශබන්දු තෙන්නකෝන්ට තවත් ලෙඩක් වැටෙයි

11 months ago

2022 වසරේ මැයි මස 09 වනදා ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස එවක බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යැවූ ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණය විසින් මීට පෙර දුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (22) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට අවසර දෙමින් ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී මෙම නඩුකරයේ වග උත්තරකරුවන්ගේ නාමාවලිය සංශෝධනය වී නොමැති බවට දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් මතු කළ මූලික විරෝධතා ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව අභියාචනාධිකරණයේ පැවති නඩු විභාගයේදී නීතිපතිවරයා විසින් රහසිගත කවරයක බහා අධිකරණයට ඉදිරිපත් කරන ලද වැදගත් ලේඛන ගණනාවක් තීන්දුව ලබාදීමට පෙර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් සැලකිල්ලට භාජනය කර නොමැති බවට චෝදනා කළාය.

යම්කිසි විමර්ශනයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් උපදෙස් ඉල්ලා සිටි විටෙක ඊට අවශ්‍ය උපදෙස් ලබාදීමට නීතිපතිවරයාට හැකියාව තිබෙන බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා අදාළ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට කටයුතු කළේ ඊට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙනු ලැබූ නියෝගයකට අනුව බවත් ඇය සඳහන් කර සිටියාය.

අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදීමට ප්‍රථම නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ  කරුණු කිසිවක් සැලකිල්ලට භාජනය කර නොමැති බවත් පෙත්සම්කරු ඉල්ලා නොසිටි සහන පවා මෙම තීන්දුව තුළින් අභියාචනාධිකරණය ලබාදී තිබෙන බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අභියාචනාධිකරණයේ එම තීන්දුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් කියා සිටියාය. 

වග උත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලිසිය වෙත නියෝග නිකුත් කිරීමට නීතිපතිවරයාට බලයක් නොමැති බවත් සැකකරුවකු නම් කිරීම පිළිබඳව තීරණය ගත යුත්තේ විමර්ශනවලදී අනාවරණය වන කරුණු මත පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවත් සඳහන් කළේය.

එසේ තිබියදී අදාළ සිද්ධියේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර තිබෙන ලිපිය  සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය. 

ඊට අමතරව මෙම පෙත්සම විභාග අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු අදාළ අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කරන ලදී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *