Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

Paypal පහසුකම ශ්‍රි ලංකාව තුළ නිල වශයෙන් දියත් කරයි

6 minutes ago

ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම අන්තර්ජාල ගෙවීම් පද්ධතියක් වන PayPal සේවාව දේශීය බැංකු පද්ධතිය සමඟ එක්ව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (15) දින මෙම සේවාව දියත්කිරීම නිල වශයෙන් සිදුවිණ.

ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් ආර්ථික අභිලාෂයන් පෙරදැරිව මෙරට බැංකු පද්ධතිය සහ PayPal ආයතනය අතර ඇති වූ නව සහයෝගීතාවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ඇගයීමට ලක්විය. මෙරට ඩිජිටල් ආර්ථිකය කලාපීය සහ ගෝලීය වශයෙන් ප්‍රතිස්ථාපනය කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස මෙම අවස්ථාව හඳුන්වා දිය හැක. ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන මූලික බැංකු හවුල්කරුවන් හරහා මෙම සේවාවන් ඉතා ඉක්මනින් මෙරට පාරිභෝගිකයන් වෙත විවෘත වන අතර ඉදිරි මාස කිහිපය තුළ තවත් බැංකු රැසක් මේ සමඟ එක්වීමට නියමිතව ඇත.

මෙමඟින් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්, නිදහස් වෘත්තිකයන්, ව්‍යවසායකයන් සහ නවක ව්‍යාපාරිකයන් සඳහා වඩාත් ආරක්ෂිත සහ විශ්වාසනීය ජාත්‍යන්තර ගෙවීම් පද්ධතියක් කරා ප්‍රවේශ වීමට අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික න්‍යාය පත්‍රය මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ අන්තර්ගත වර්ධනයක් ඇති කිරීම සහ ඩිජිටල් ව්‍යවසායකත්වය දිරිමත් කරමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීමටයි. මෙම ජාත්‍යන්තර ගෙවීම් සේවා ව්‍යාප්ත වීම මගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ගෝලීය වෙළෙඳාමේ ක්‍රියාකාරී කොටස්කරුවන් වීමට මනා පිටුවහලක් ලැබෙනු ඇත.

මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52කට පමණ දායකත්වය සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශයට ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය ලබා දීම අතිශය වැදගත් වේ. විනිවිදභාවයකින් සහ වගවීමකින් යුත් ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියක් ස්ථාපිත කිරීම හරහා වංචනික ක්‍රියා සහ අනාරක්ෂිත ගනුදෙනු පිළිබඳ පවතින ගෝලීය ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇත. විශේෂයෙන්ම තරුණ පරපුර මෙම ඩිජිටල් පරිවර්තනය තුළ උද්‍යෝගයෙන් සහභාගී වන අතර, ඔවුන්ගේ අනාගත වර්ධනය සමානාත්මතාවය සහ විනිවිදභාවය මත පදනම් විය යුතු බව රජයේ අපේක්ෂාවයි.

ශ්‍රී ලංකාව යනු ගෝලීය ඉල්ලුමට සරිලන දක්ෂ නිදහස් වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් බහුල රටක් බව PayPal ආයතනය ද අවධාරණය කරයි. මෙම සහයෝගීතාවය මගින් විදේශයන්හි සිට මුදල් ලබා ගැනීමේදී පවතින බාධක ඉවත් වී වඩාත් බාධාවකින් තොර සහ විශ්වාසනීය ගෙවීම් ක්‍රමවේදයක් නිර්මාණය වේ. ඉදිරි සති කිහිපය තුළ මෙම සේවාවන් පාරිභෝගිකයන් වෙත ලබා දෙන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අදාළ බැංකු විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එමගින් මෙරට ඩිජිටල් මූල්‍ය පරිසර පද්ධතිය තවදුරටත් ශක්තිමත් වනු ඇත.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ගරු, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය; ආචාර්‍ය අනිල් ජයන්ත මහතා, ලංකා මහ බැංකුවේ අධිපතිතුමා; නන්දලාල් වී‍රසිංහ මහතා, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, PayPal ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි නාඩියා සයිඩ් මහත්මිය, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව ඇතුළු සහභාගී වූ මූල්‍ය ආයතනවල නියෝජිත පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *