Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවේ අන්නාසිවලට පාකිස්තාන වෙළෙඳපොළේ දොරටු විවර වෙයි

19 minutes ago

මෙරට නැවුම් පළතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නැවුම් අන්නාසි සහිත ප්‍රථම කන්ටේනරය අද (21) පකිස්තාන වෙළඳපොළ වෙත අපනයනය කිරීමට සාර්ථකව ඇසුරුම් කර තිබේ.

මෙය පකිස්තානය තුළ ශ්‍රී ලාංකේය අන්නාසි සඳහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කර ඇත.

මේ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, පකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජාතික ශාක නිරෝධායන සේවය විසින් ලබාදුන් තාක්ෂණික සහයෝගය ද හේතු වී තිබේ.

මෙම අපනයන අවස්ථාව උදා වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සහ පකිස්තානයේ ජාතික ශාක ආරක්ෂණ සංවිධාන අතර පැවති දීර්ඝ තාක්ෂණික සාකච්ඡා සහ සමීප සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මිලියන 252ක පමණ ජනගහනයක් සහිත පකිස්තානය, ශ්‍රී ලංකාවේ අන්නාසි සඳහා ඉතා ඉහළ විභවයක් සහිත වෙළඳපොළකි.

පකිස්තානය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 10ක පමණ වටිනාකමකින් යුත් අන්නාසි මෙට්‍රික් ටොන් 2,000–5,000ත් අතර ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි.

දැනට තායිලන්තය සහ පිලිපීනය පකිස්තාන වෙළඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවන් ලෙස රැඳී සිටියද, ශ්‍රී ලාංකේය අන්නාසිවල ඇති සුවිශේෂී රසය, උසස් ගුණාත්මකභාවය සහ නැවුම් බව මෙන්ම දෙරට අතර පවතින භූගෝලීය සමීපත්වය හේතුවෙන් වෙළඳපොළේ වැඩි කොටසක් හිමිකර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අපනයන ක්‍රියාවලිය සඳහා අනුමැතිය ලබාදීම සලකා බැලීම වෙනුවෙන් පකිස්තාන ජාතික ශාක ආරක්ෂණ සංවිධානයේ කීට විද්‍යා පර්යේෂකයකු වන මොහොමඩ් අකීඩ් මහතා පසුගියදා මෙරටට පැමිණ තෝරාගත් අන්නාසි වගාබිම් සහ ඇසුරුම් මධ්‍යස්ථාන පරීක්ෂා කර විගණනයකට ලක් කළේය.

එහිදී ඔහු රැස්කරගත් තොරතුරු සහ සොයාගැනීම් පදනම් කරගනිමින් පකිස්තානය තුළ සිදු කරන ලද තාක්ෂණික ඇගයීමකින් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවය මඟින් නිකුත් කරනු ලබන ශාක සෞඛ්‍ය සහතිකයක් ලබාදීමට යටත්ව, ශ්‍රී ලංකාවෙන් නැවුම් අන්නාසි ආනයනය කිරීම සඳහා පකිස්තාන බලධාරීන් විසින් අනුමැතිය ලබා දෙන ලදී.

මෙරටින් අපනයනය කරනු ලබන සියලුම නැවුම් අන්නාසි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහතික ලත් වගාබිම්වලින් ලබාගන්නා බව සහතික කළ යුතු අතර අදාළ නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිසි පරිදි ලියාපදිංචි වී සිටිය යුතුය.

2025 වසරේදී අන්නාසි නිෂ්පාදන අපනයනයෙන් ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 2ක පමණ ආදායමක් උපයා ඇත.

එබැවින්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන පුළුල් කිරීමට සහ 2030 වසර සඳහා වන රටේ අපනයන ඉලක්ක සපුරා ගැනීමට පකිස්තානය වැනි නව වෙළඳපොළවල් හඳුනා ගැනීම සහ සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.

අන්නාසිවලට අමතරව ඉදිරියේදී අලිගැටපේර සහ දොඩම් ඇතුළු අනෙකුත් කෘෂි නිෂ්පාදන ද පකිස්තාන වෙළඳපොළට හඳුන්වා දීම සඳහා අවස්ථා ගවේෂණය කිරීමේ උත්සාහයන් ද ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම නව වෙළඳ අවස්ථාව මඟින් පකිස්තාන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ ප්‍රතිලාභ උපරිමයෙන් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමඟින් දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *