Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!

2 hours ago

පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය නැවත ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දන්වා තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, එම අරමුදල වෙත ලිපියක් යොමු කරමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය වැඩසටහනේ පස්වැනි සහ හයවැනි සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා අනුමැතිය ලබා දීමට මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මැයි  27 වැනිදා පියවර ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීම සඳහා  අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමි විය.

ඊට පෙර ඉකුත් මැයි 13 වැනිදා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ගේ අත්සන්ද සහිතව ලිපියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වෙත යොමු කර තිබූ බවට තොරතුරු වාර්තා වේ.

එහි දැක්වෙන්නේ IMF වැඩසටහනේ පූර්ව ක්‍රියාමාර්ගයක් වන පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය නැවත ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවය.

ඉන්ධන සහනාධාර ඇතුළු අනෙකුත් සහන ක්‍රියාමාර්ග රුපියල් බිලියන 100 සීමාවට යටත් වන අතර, එය සැප්තැම්බර් මස අවසානය වනවිට ගෙවා අවසන් කරන බව ලිපියෙහි දක්වා ඇත. 

මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන යටතේ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට රජය පූර්ණ ලෙස කැපවී සිටින බවත් ජනාධිපතිවරයා ඉන් අවධාරණය කරයි. 

ආදායම් මත පදනම් වූ මූල්‍ය ස්ථායීතාව, ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය අංශවල ප්‍රතිසංස්කරණ සහ පිරිවැය ආවරණය කරන බලශක්ති මිලකරණය, රාජ්‍ය ණය තිරසරභාවය, මිල ස්ථාවරත්වය පවත්වාගැනීම, විනිමය අනුපාතවල ඉහළ නම්‍යශිලිතාවය සහිතව විදේශ විනිමය සංචිත ගොඩනැංවීම , මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහ දූෂණ අවදානම් වැළැක්වීම සඳහා වූ උසස් මට්ටමේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ වර්ධන හැකියාවන් විහිදාලීම රජයේ අරමුණ වන බව ලිපියේ වැඩිදුරටත් දක්වා තිබේ. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *