Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිවයින වටා මුහුද රළු වෙයි

4 hours ago

දිවයින වටා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ මුහුද රළු වීම හේතුවෙන් ධීවරයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව කන්කසන්තුරය, යාපනය, මන්නාරම සිට කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි අතර, ඒ හේතුවෙන් මුහුදු රළ ඉතා ඉහළ මට්ටමකට එසවීමේ අවදානමක් පවතින බව නිවේදනයේ සඳහන් වෙයි.

මේ නිසා කන්කසන්තුරේ, යාපනය, මන්නාරම, පුත්තලම සිට කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශවල වෙරළාසන්න රැකියාවේ නියුතු කුඩා යාත්‍රා සහ සාම්ප්‍රදායික යාත්‍රා හිමිකරුවන්හට නැවත දැනුම්දෙන තුරු රැකියාව සඳහා මුහුදු යාමෙන් වළකින ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා දැඩිව අවධාරණය කරයි.

මේ අතර, කල්පිටියේ සිට හලාවත, මීගමුව, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය වැඩිවීමේ හා රළ ඉහළ යාමේ අවදානමක් පවතින බව සඳහන් වෙයි.

එම ප්‍රදේශවල රැකියාවේ නිරතවන ධීවරයින් මුහුදු යාමට පෙර පවතින තත්ත්වය පිළිබඳව මනා ලෙස සැලකිලිමත් විය යුතු අතර, ආරක්ෂිතව රැකියාව කළ හැකි යෝග්‍ය තත්ත්වයක් පවතී නම් පමණක් ධීවර කටයුතුවල නිරත වන ලෙසත්, අවදානම් අවස්ථාවලදී රැකියාවෙන් බැහැර වන ලෙසත් දැනුම් දී සිටියි

“ධීවර රැකියාව සඳහා පිටත්ව යාමේ සිට, මුහුදේ රැකියාවේ නිරත වන කාලය සහ නැවත ආරක්ෂිතව ගොඩබිමට පැමිණෙන තෙක් සම්පූර්ණ කාලය පුරාවටම ‘ජීවිතාරක්ෂක කබා’ (Life Jackets) පැළඳ සිටීම අනිවාර්ය බව අපි නැවතත් මතක් කරනවා. පසුගිය කාලසීමාව තුළ සිදු වූ අනතුරුවලදී ජීවිතාරක්ෂක කබා නිසි පරිදි පැළඳ සිටි ධීවරයින්ගේ ජීවිත සුරක්ෂිත වූ අතර, එසේ නොකළ පිරිස්වලට සිය වටිනා ජීවිත අහිමි වීමට සිදු වූ බව ඔබ සැම සිහි තබා ගත යුතුයි.”

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව මඟින් වරින් වර නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, තම ජීවිත හා දේපළ ආරක්ෂා කර ගනිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *