Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි

34 minutes ago

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ භාෂ්වර ගුණරත්න මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව රජයේ සාක්ෂිකරුවකු (State Witness) ලෙස පෙනී සිටීමට එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව දැනට විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ මහතාව මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද වරෙන්තු නිකුත් කරනු ලැබීය.

පසුගිය 2014 වර්ෂයේ පැවැති ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8 ක මුදලක් අවභාවිත කරමින් ටී-ෂර්ට් (T-Shirts) මුද්‍රණය කර ඒවා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම නඩුව පවරා තිබුණි.

මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, රිමාන්ඩ් භාරයේ පසුවූ භාෂ්වර ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා දන්වා සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය යටතේ තම සේවාදායකයා මහේස්ත්‍රාත්වරයා වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දී ඇති බවයි. ඒ අනුව ඔහුව රජයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර ඇප මත මුදාහරින ලෙස කරන ලද ඉල්ලීම අධිකරණය විසින් පිළිගන්නා ලදී.

මහේස්ත්‍රාත්වරයා විසින් භාෂ්වර ගුණරත්න මහතාව රුපියල් ලක්ෂයක (100,000) මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේ මෙම මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව නම් කරන බවයි. දැනට විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ජාත්‍යන්තර සිතාසි (International Summons) නිකුත් කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා වහාම දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා CID නිලධාරීන්ට නියෝග කළේය.

මේ අතර, නඩුවේ තෙවැනි සැකකරු වන සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් මහතාව එළඹෙන ජුනි 17 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *