Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කර ගැනීමට FBI සහාය පැතීමට සැරසෙයි

14 hours ago

අබිරහස් ලෙස මරණයට පත්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනයේ අගුළු විවෘත කර ගැනීම සඳහා FBI සහාය ලබාගැනීමට බලාපොරොත්තු වන බව කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන වෙත දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, ඇපල් සමාගම විසින් දැනුම් දෙන රටකදී හෝ ස්ථානයකදී කපිල චන්ද්‍රසේනගේ ඇපල් ජංගම දුරකථනය විවෘත කර ගැනීමට කටයුතු කරන බවත්, ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කර ගැනීමට ඇපල් සමාගමෙන් සහාය ඉල්ලා FBI ආයතනය හරහා මේ වන විටත් විද්‍යුත් තැපැල් පණිවුඩ යවා ඇති බව ඔහුගේ මරණයට අදාළව සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දුන්නා.

මරණකරුගේ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයේ අගුළු විවෘත කිරීමට මෙරට කිසිදු ආයතනයකට මෙතෙක් නොහැකි වී ඇති හෙයින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම බුද්ධි තොරතුරු සහ ආරක්ෂක ආයතනයක් වන ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) සහාය ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු කරන බවයි ඔවුන් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ.

කපිල චන්ද්‍රසේන ගෙල වැල ලා ගැනීමට පාවිච්චි කළ පටිය සහ අරවින්ද ද සිල්වාගේ නිවසේ සවිකර තිබූ CCTV කැමරාවලට භාවිත කළ DVR යන්ත්‍රය රජයේ රස පරීක්ෂකවරයාට ද, කපිල චන්ද්‍රසේනගේ මෘත ශරීරයෙන් ලබාගත් රුධිර සාම්පල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ද යොමු කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබා දුන්නා.

කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ පිහිටි, හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවසේ කාමරයක අබිරහස් ලෙස මියගොස් සිටි කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි දීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම්ගේට නොතීසි නිකුත් කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

මෙම සිද්ධියට අදාළව සාක්ෂි දෙනු ලැබූ අනෙකුත් සාක්ෂිකරුවන් 18 දෙනා උසාවියට කැඳවනු ලැබුවේ අධිකරණයෙන් නිකුත් කරන ලද නොතීසි මත දැයි පොලිසියෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා, නීතිය ඉදිරියේ සියලු දෙනා එක සමාන බව පෙන්වා දෙමින් නීතිඥවරුන්ට නොතීසි නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 29 වැනිදා දක්වා කල් තැබූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට පොලිසියට නියම කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *