Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි

35 minutes ago

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක්ව ඇති බවත්, එය පාලනය සඳහා හෘදය වස්තුවට උපකරණයක් සවිකර ඇති බවත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (22) අනාවරණය විය.

ඒ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන 9 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයක් විසින් නිකුත් කරණු ලැබූ වාර්තාවට අනුවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවුණි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා ඇතුළු පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දැක්විය.

“ස්වාමිනි, මේ තුන්වැනි සැකකාර සුරේෂ් සලේ ජුනි 07 වැනිදා ඉඳලා අදට දින 100කට වැඩි කාලයක් රෝහල්ගතව ඉන්නවා. ජාතික රෝහලේ හෘද ඒකකයට අනියුක්ත හදසි ප්‍රතිකාර ඒකකයේ තමයි ඔහු ප්‍රතිකාර ලැබුවේ. අපි රෝහල් අධ්‍යක්ෂකගෙන් ඉල්ලූ වාර්තාව මේ වෙද්දී වෛද්‍යවරු 9 දෙනෙකුගේ අත්සනින් යුක්තව ලැබිලා තියෙනවා. එම වෛද්‍ය වාර්තා මත පදනම්ව තමයි මම මේ කතා කරන්නේ. සැකකරුගේ හෘදය වස්තුව ඉදිමිලා කියලා ඒක පාලනය කරන්න උපකරණයක් සවිකරලා තියෙනවා. ඒකට වැයවෙලා තියෙනවා රාජ්‍ය මුදලින් රුපියල් ලක්ෂ 40ක්. පාස්කු ප්‍රහාරයේ ඝාතකයාට මෙහෙම තමයි සලකන්නේ”

එහිදී එක්වරම මහේස්ත්‍රාත්වරයා,“ඔහු තවමත් ඝාතකයෙක් නොවෙයි. සැකකාරයෙක් පමණයි” යන්වෙන් සඳහන් කළා.

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ගරු අධිකරණයෙන් සමාව ඇයැද සිටීමෙන් අනතුරුව නැවත කරුණු දැක්විය.

”ස්වාමීනි, දත්වල ප්‍රශ්නයක් කියලා සැකකරු දත් පුරවාගන්නවා. අපි අධිකරණය හමුවේ මේ දේවල් මතු කළාට පසුව ඊයේ වෙද්දී ඔහුව සාමාන්‍ය වාට්ටුවකට මාරුකරලා තියෙනවා. වෛද්‍ය වාර්තාවේ නිර්දේශ ලෙස සඳහන් වෙලා තියෙනවා දැනට හෘද රෝග හා මානසික තත්ත්වය අතින් සැකකරු ස්ථාවර බවත්, දත්වල ප්‍රශ්නය සමනය වුණාම ඔහු මුදාහරින්න හැකි බවත්. ලබන 28 වැනිදා රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් රැස්වෙලා සාකච්ඡා කරන්න නියමිතයි මේ සැකකරුව තවදුරටත් රෝහලේ තබාගන්නවාද නැද්ද කියලා. අපි බලාපොරොත්තු වෙනවා රෝහල පැත්තෙන් 28 වැනිදාට හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. මොහුව 28 වැනිදාට රෝහලෙන් නිදහස් කරගෙන විමර්ශන නිලධාරින් භාරයට පත්කරන්න පුළුවන්නම් අපි සූදානම් එහි සම්පූර්ණ වගකීම භාරගන්න. අපිට අවශ්‍ය නැහැ මේ සැකකරුට වධහිංසා පමුණුවන්න. අපිට ඕනේ සැකකරුට නෛතිකව දඬුවම් කරන්න. කොහොම වුණත් මේ වෙද්දීත් සැකකරුට ස්වභාවධර්මයෙන් ඒ අවශ්‍ය දඬුවම් ලැබෙමින් පවතිනවා”

ඒ වගේම තමයි ස්වාමීනි ඔබතුමාගේ ගරු අධිකරණය නියෝග කළා සැකකරුට අයත් ලැප්ටොප් පරිගණකයේ සහ දුරකථනවල මුරපද ලබාදෙන්න කියලා. නමුත් තවම ඒ මුරපද ලබාදීලා නැහැ. ඔහු කියනවා මුරපද මතක නැහැ කියලා. විමර්ශනවලට මුරපද අත්‍යවශ්‍යයි. නමුත් තවම දීලා නැහැ.”

අනතුරුව සැකකාර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේශ් සලේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට කරුණු දැක්වුවා.

”ස්වාමීනි වෛද්‍ය වාර්තාව නම් මට තවම අධ්‍යනය කරන්න බැරිවුණා. වාර්තාව අධ්‍යනය කරලා ඒ පිළිබඳව ඉදිරියේදී කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟට මගේ මිත්‍රයා මුරපද ගැන සඳහන් කළා. යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරින් අනුගමනය කරන ක්‍රියා පටිපාටියක් තියෙනවා. දවසකට හෝ දෙකකට පසු ඔවුන් මුරපද මාරුකරනවා. ඔවුන් එසේ කරන්නේ මුරපද වෙනත් අයෙකු අතට පත්වීමට තියෙන අවදානම අවම කරගැනීම සඳහා. ඔවුන් දීර්ඝ කාලීනව මුරපද මතකයේ තියාගන්නේ නැහැ. අත්අඩංගුවට අරගෙන මාස ගාණකට පසුව තමයි සැකකරුගෙන් මුරපදයක් ඉල්ලන්නේ. ඒවාට උත්තර දුන්නා. නමුත් තවමත් කිසිම ප්‍රකාශයක් සටහන් කරගෙනනම් නැහැ.”

එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයාට පිළිතුරු ලබාදෙමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙලෙස සඳහන් කළේය.

”මුරපද ගැන රෝහලේදී සහ ඉන් පිටතදී ප්‍රකාශ ගණනාවක් ගත්තා. ඒ හැම අවස්ථාවකම සඳහන් කළේ මුරපද මතක නැහැ කියන එක. ලැප්ටොප් පරිගණකය තිබුණා කාර් එකේ සැකකරු අත්අඩංගුවට ගද්දී කිව්වේ ඒක දුවගේ කියලා. සැකකරු උත්සාහ කළේ ලැප්ටොප් පරිගණකය නොදී මඟහරින්න. ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරය ගැන මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී අවස්ථා රැසකදී විවිධ ප්‍රකාශ කරලා තියෙනවා. ඔවුන් මහජන නියෝජිතයෝ. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන කඩිනම් කරන්න. මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ අවස්ථාවේදී ලිඛිතව දැනුම්දෙනවා ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්න කියලා.”

අනතුරුව ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා නැවත අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

”මෙතෙක් විමර්ශන කරලා දෙයක් කරගන්න බැරිවෙලා දැන් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ පදනම් කරගෙන ඒ දේ කරගන්න හදනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයින්ගේ බංකොළොත්භාවය තමයි මේකෙන් පේන්නේ”

ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම නඩුවේ විමර්ශන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඔක්තෝබර් මස 21 වැනිදාට ඉදිරිපත් කරන ලෙසය.

ඒ අනුව නඩුව ඔක්තෝබර් 21 වැනිදා පස්වරු 2 දක්වා කල් තැබුණි.

(source – ada derana)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *