Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපන ඇමතිගෙන් සුවිශේෂි තීරණයක්! වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන සිසුන්ට ප්‍රායෝගික රැකියා පුහුණුව සඳහා අවසර ලබා දෙමින් චක්‍රලේඛයක්!

3 years ago

රටක ආර්ථිකයට සෘජු ව ම බලපාන වාණිජ හා ව්‍යාපාර අධ්‍යයන විෂයන් හදාරන සිසුන් ඉදිරියේ දී ඒ විෂය දැනුම පිළිබඳ න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික ව වෘත්තීය වශයෙන් භාවිතයට ගැනෙන බැංකු වැනි ආයතනවලට ගොස් සෛද්ධාන්තික විෂය දැනුමේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ විෂයගෝචර අද්දැකීම් ලබා ගත යුතු යැයි තමන් යෝජනා කරන බවත් ඒ සඳහා අවශ්‍ය ලිඛිත අවසරය චක්‍රලේඛනයක් මාර්ගයෙන් ලබා දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකරණ ආයතනය (CMA) එක් ව සංවිධානය කරන ලද හොඳ ම පාසල් වාණිජ සංගමය තේරීමේ තරගාවලියේ ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ය.

එසේ ම අභියෝගාත්මක වසරක් වූ 2022 වර්ෂයට අදාළ උසස් පෙළ හා සමාන්‍ය පෙළ විභාග 2023 වසරේ දී පවත්වමින් මේ වන විට රට පුරා මධ්‍යස්ථාන 3500ක දී සාමාන්‍ය පෙළ විභාගය පවත්වන අතරවාරයේ ම උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර සමීක්ෂණ කටයුතු ද එක ම අවස්ථාවක සිදු කිරීමේ අභියෝගයට විභාග දෙපාර්තමේන්තුව සමග එක් ව අධ්‍යාපන අමාත්‍යාංශය සාර්ථක ව මුහුණ දී සිටින බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. විෂය ධාරා හතරක් යටතේ පැවැත්වූ උසස් පෙළ විභාගයේ හා දැන් පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ජුනි මස අවසන ලබා දීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

2030 වර්ෂයේ දී සපුරාගත යුතු තිරසර සංවර්ධන අරමුණු ද කේන්ද්‍ර කරගනිමින් දැනුම යාවත්කාලීන කරගැනීමට නිතර උත්සුක විය යුතු බව ද හෙතෙම සඳහන් කළේ ය. එසේ සිදු නොවීම නිසා යල්පැන ගොස් ඇති අධ්‍යාපන ක්‍රමය තුළ වේගවත් වෙනසක් සිදු කළ යුතු බවත් විෂය මාලා සංශෝධන හරහා දරුවන්ගේ මොළයේ වම් සහ දකුණු අංශ දෙක ම සංවර්ධනය වන පරිදි විෂයන් හැදෑරීමට අවස්ථාව සලසමින් වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන්ට සංගීතය වැනි කලා විෂයන් හැදෑරීමට අවකාශ තිබිය යුතු බවත් එසේ නොවුණහොත් ඉතා ඉක්මනින් පාසල් පද්ධතිය තුළ ඉතිරි වන්නේ පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය පමණක් වනු ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ඒ අනුව අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස්කම්වලට අතගසමින් මේ වන විටත් එක වසරේ සිට ම දරුවන්ට ඉංග්‍රීසි භාෂා භාවිත පළපුරුද්ද ඇති කිරීමට මෙන් ම ස්ටීම් අධ්‍යාපන ක්‍රියාවලියට අනුගත වීමටත් කටයුතු යොදා ඇති බැව් ද පැවසී ය.

ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස දීපව්‍යාප්ත ව පාසල් 20ක 6-9 හා 10-13 ශ්‍රේණිවල දරුවන්ට තොරතුරු තාක්ෂණ විෂය හා කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීමට කටයුතු යොදා ඇති බවත් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අතරවාරයේ ම සිය වගකීම් පිළිබඳ අවබෝධයෙන් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සමාජය පෙනී සිටිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *