ජනාධිපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ සිවුකොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර මෙම සටන නිර්මාණය වී පවතිනවා.
ඔවුන් සිවුදෙනාම ජනාධිපතිධුරයට පත්වීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු මැදිහත් වී සිටින අතර, ඔහුට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහාය දිනා ගැනීම සඳහා එම පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ ඇමතිවරුන් දෙදෙනකු මූලිකත්වය ගෙන සිටින බවද දැනගන්නට ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා එම පක්ෂයේ ප්‍රබලයන් දැඩි වෙහෙසක් දරමින් සිටින අතර ඒ වෙනුවෙන් ඔවුන් දිවා රෑ නොබලමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ඇත.
අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ සහයද බොහෝදුරට විපක්ෂනායකවරයාට හිමි වීමේ ඉඩකඩක් පවතින බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.
මේ අතර,ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත්කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුම පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන අතර, ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන හවුල් පක්ෂ දහයේ කණ්ඩායමද ඩලස් අලහප්පෙරුම මහතා ජනපති කරවීම සඳහා සූදානමකින් සිටින බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(16) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ තම පක්ෂය කිසිඳු අපේක්ෂකයෙකුට සහය නොදෙන බවයි.නමුත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ඡන්දය භාවිතා කිරීමට ඉඩ පවතින බවයි.
ඒ අනුව එම මන්ත්‍රී කණ්ඩායමද පාර්ශ්ව හතරකට බෙදී ඇතැයි දැනගන්නට ඇත. එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට ද ,තවත් කිහිප දෙනකු සජිත් ප්‍රේමදාස මහතාට ද ,තවත් කිහිප දෙනකු ඩලස් අලහප්පෙරුම මහතාට ද සහාය දීමේ පිළිවෙතක සිටින බව දැනගන්නට තිබේ .
මේ අතර, නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහාද,මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සිය සුදුසුකම් ඉදිරිපත් කරමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ අතර වත්මන් සභානායක දිනේෂ් ගුණවර්ධන , පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලී චම්පික රණවක යන මන්ත්‍රීවරුන් සිටින බව දැනගන්නට ඇත.