දෙසතියකට ඉහත දී රටේ පුවත් මැවූ කත වූයේ තිළිණි පියුමාලිය, ඇය කෝටිපතියන් හා දේශපාලනඥයන් රවටා කෝටි ගණන් සල්ලි උපයාගත් හැටි හෙළි වූයේ උසාවියේදීය. තිළිණි තරම් කෝටි ගණනක් සල්ලි නැතිමුත් ඇගේ නංගි මෙන් කාන්තාවක්ද දැන් කරළියට පැමිණ ඇත්තේය. ඒ කතාව ඇරඹෙන්නේ ව්‍යාපාරිකයකුගෙනි.
අපි ඔහුව මොහොමඩ් තුවාන් යනුවෙන් හඳුන්වමු. සිව් දරු පියෙකු වන ඔහු තම බිරිඳ හා දරුවන් සමගින් ජීවත් වුයේ කළුතර බේරුවල ය. බේරුවල නගරයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු වන තුවාන් ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් මසකට වරක් හෝ දෙවරක් ඉන්දියාවට හෝ ඩුබායි, බැංකොක් වැනි නගර වෙත යන්නේ ඒ බිමේදී මැණික් ගල් සඳහා ඉහළ ඉල්ලුමක් හා ලාභයක් ලැබෙන නිසාය. මේ ආකාරයෙන් පසුගිය 11 වැනිදා තුවාන් ඉන්දියාව බලා ගියේද මැණික් ගල් කිහිපයක්ද රැගෙන වෙන්දේසියකටය. ඉන්දියාවට ගිය ඔහු නැවතී සිටියේ චෙන්නායි නුවර පිහිටි හෝටලයකය.
පසුදින (12 වැනිදා) චෙන්නායි නගරයේ වෙළඳ සංකීර්ණයකට ගිය ඔහුට නොහඳුනන ශ්‍රී ලාංකික කාන්තාවක් හමුවිය. ඇය නම්න් ෆාතිමා යැයි හඳුන්වමු. 33 හැවිරිදි විවාහක කාන්තාවක වූ ඇය ද නැවතී සිටියේ චෙන්නායිහි පිහිටි වෙනත් හෝටලයකය. ඇය නිරන්තරයෙන් ඉන්දියාව හා ඩුබායි වෙත යන ව්‍යාපාරික කාන්තාවක් බව තුවාන් දැන ගත්තේ ඇය සමග වචන දෙක තුනක් කතා කළ විටය. ව්‍යාපාරික කටයුතු ගැනත් පවුල් වල විස්තරත් කතා කළ මේ දෙදෙනාට වට්ස් ඇප් අංක ද හුවමාරු කරගන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත.
මම ආවේ බිස්නස් වැඩකට මට ඩොලර් 50 ක් මදි හින්දු ආපු වැඩේ කරගන්න වුණේ නැහැ. ඩොලර් 50ක් හොයාගෙන ආපහු හෙට එනවා යැයි ෆාතිමා තුවාන්ට කීවේ ඔහුගෙන් එකවර මුදල් ඉල්ලීමට ලැජ්ජාවක්ද ව්‍යංගාර්ථයෙන් සැල කරමිනි. පසුව දෙදෙනාම තමන් නැවතී සිටි නවාතැන් කාමර දෙක වෙත පිටව ගියත් එදින සවස් කාලයේ සිටම දෙදෙනා අතර වට්ස්ඇප් පණිවුඩ හුවමාරු විය. වට්ස් ඇප් මගින් දුරකතන ඇමතුම් ද ගෙන තිබුණි. රාත්‍රිය වනතුරු වූ මේ සංවාදය අතරතුර අවශ්‍ය කර තිබූ ඩොලර් 50 ද දීමට තුවාන් ෆාතිමාට පොරොන්දු විය.
“මම ඔයා ඉල්ලුව ඩොලර් 50 දෙන්නම්, ඔයා ළඟට එන්නම් ” යනුවෙන් තුවාන් යැවූ පණිවුඩයට ෆාතිමාගෙන් ලැබුණ ප්‍රතිචාරය යහපත් විය. ඒ අනුව 13 වැනිදා උදෑසනම ෆාතිමා සිටි හෝටලයට පැමිණි තුවාන් ඇය ඉල්ලූ ඩොලර් 50ක මුදල දීමට කාරුණික වූවා පමණක් නොව ෆාතිමා සමග අඹුසැමි ඇසුරකට පැකිළුනේ නැත. ඒ ඇයගේද ආශාව හා කැමැත්ත මතය. පැය කිහිපයක් ෆාතිමා සිටි හෝටල් කාමරයේ සිටි තුවාන් ඉන් පිටතට ආවේ තමන් පැමිණි ව්‍යාපාරික කටයුත්තත් කරගෙන ඉක්මනින් ලංකාවට යෑමේ අරමුණ ඇතිවය.
මෙදින දහවල් ෆාතිමා චෙන්නායි සිට ශ්‍රීලංකාව බලා පැමිණියාය. එදින සවසම තුවාන්ගේ වට්ස්ඇප් අංකය වෙත වීඩියෝ දර්ශනයක් ඇය විසින් එවා තිබුණාය. එහි ඇත්තේ තුවාන් ෆාතිමා සමග යහන්ගත වන අයුරු දැක්වෙන වීඩියෝවකි.
“උඹ මගෙත් එක්ක බුදියගත්ත මේ වීඩියෝව තමයි මේ. මේක මම උඹේ වයිෆ්ට යවලා ඝෝෂල් මීඩියා අප්ලෝඩ් කරනවා. ඒක නොකර ඉන්න නම් මගේ එකවුන්ට් එකට ලක්ෂ 70 ක් දාපන්” යැයි ඇය තුවාන්ට වස්ඇප් දුරකතන ඇමතුමක් ගනිමින් කීවාය.
“උඹ මහ පාහර ගැනියක්. මේ කරපු වැඩේ හරිද යැයි පැවසූ තුවාන්ට ෆාතිමාගෙන් ලද පිළිතුරු වූයේ මට මනුස්සකම් ඕන නෑ. මට ඕන සල්ලි විතරයි ” යනුවෙනි.
මගේ බිස්නස් වැටිලා තියෙන්නේ. එච්චර සල්ලියක් දෙන්න මට නැහැ කියා පැවසූ තුවාන් තම පවුල් ජීවිතය කඩා වැටේවි දෝ කියන බිය නිසා තම මිතුරකුගේ ගිණුමකින් ෆාතිමාගේ ගිණුමට රුපියල් ලක්ෂ 10 ක මුදලක් බැර කළේය.
14 වැනිදා උදෑසන තුවාන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටියේය. මේ අතරතුර දුරකතන ඇමතුමක් ගත් ෆාතිමා නැවතත් මුදල් ඉල්ලා තර්ජනය කරන්නට විය. නමුත් දීමට මුදල් තමා සන්තකයේ නැති බව තුවාන් කියා සිටියේය.
ඊට පසුදින තුවාන්ගේ නිවස, දරුවන් යන පාසල් හා සියලු දේ දැන සිටි ෆාතිමා ඔහුගේ නිවස අසළට ගොස් වීඩියෝ ඇමතුම් ගෙන මුදල් නොදෙන්නේ නම් තමන් හා සිටින වීඩියෝව බිරිඳට දෙන බවට තර්ජනය කළාය. ඇය ඒ ආකාරයෙන්ම තුවාන්ගේ දරු දෙදෙනා යන පාසල අසලටද ගොස් දරුවන්ට ද වීඩියෝව පෙන්වන බවට තර්ජනය කර තිබුණි.
ඒ ආකාරයේ තර්ජන හමුවේ දැඩි ලෙස මානසික පීඩාවට පත් වූ තුවාන් මේ සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස වෙත ඉකුත් 17 වැනිදා පැමිණිල්ලක් කළේ රහසිගතවය. මෙම කාන්තාව තමාගේ වීඩියෝවක් පෙන්වා රුපියල් ලක්ෂ 70 ක කප්පමක් ඉල්ලා සිටින බවට ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හමුවේ සඳහන් කර තිබුණි. මේ පිළිබඳ විමර්ශන කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර වෙත භාර කෙරිණි.
තුවාන්ගේ ප්‍රකාශයක් ද සටහන් කරගත් පොලිසිය ඔහුගෙන් කප්පම් ඉල්ලමින් වට්ස්ඇප් මගින් ඇමතුම් ලැබුණු අංකයද පරීක්ෂාවට ලක් කළේය.
මේ කාන්තාව සූක්ෂම ලෙස කොටු කර ගැනීමේ අරමුණින් පොලිසියේ උපායක් තුවාන් ලවා ක්‍රියාත්මක කරවීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර පියවර ගත්තේය.
”මට ඔයා ඉල්ලන ඉතිරි ලක්ෂ හැටම එකපාර දෙන්න විදිහක් නැහැ. මම ලක්ෂ 10 ක් මුලින් දෙන්නම් යැයි පොලිසියේ උපදෙස් පරිදි ෆාතිමා අමතමින් තුවාන් කීය. ඊට ඇයද එකඟතාව පළකරමින් කියා සිටියේ තමා මුදල් ගෙන ඒමට බේරුවල නගරයට එන බවය. ඒ අනුව පසුදින (18දා) මුදල් ගැනීමට කුලී මෝටර් රථයකින් බේරුවල පොලිසිය ආසන්නයේ ස්ථානයකට එන්නැයි ෆාතිමා තුවාන්ට දැනුම් දුන්නාය. ඒ අනුව තුවාන් මුදල් ද සමගින් පිටත් කර හරිමින් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු ඒ ආසන්නයේ රැක සිට කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවේ මුදල් අතට ගන්නවාත් සමඟය.
ඇය මාලිගාවත්ත ජුම්මා මස්ජිදය පාරේ මහල් නිවාසයක පදිංචිව සිටින 33 හැවිරිදි කාන්තාවකි. දෙදරු මවක වන ඇයගේ සැමියා ත්‍රිරෝද රියැදුරකි. හොඳින් අධ්‍යාපනය ලබා ඇති ඇය චතුර ලෙස ඉංග්‍රීසි, හින්දි, දෙමළ, සිංහල භාෂා කතා කරන්නියකි. ඇය මෙරටින් රත්රන් පිටරටට ගෙන ගොස් අලෙවි කර එම මුදල් වලින් ඉන්දියාවෙන් සාරි ඇතුළු ඇඳුම් මෙරටට ගෙන්වන ව්‍යාපාරයකද නිරත වූවාය.. මෑතකදී කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් ඇමරිකානු ඩොලර් 2700 ක්ද සමග මැයව අත්අඩංගුවට ගෙන තිබුණි. ඇය මේ ආකාරයෙන් ධනවත් පිරිමි පුද්ගලයින් සමගින් හාද වී මෙවැනිම ආකාරයේ කප්පම් ගැනීම් මීට පෙර ද කර ඇති බවට තොරතුරු ලැබී ඇත. ඇයගේ රැවටීමට හා තර්ජන වලට ලක්වූ එවන් ව්‍යාපාරිකයින් ලැජ්ජාව හා පවුල් ජීවිතය රැක ගැනීමේ අරමුණින් පොලිසියට පැමිණිලි කර නැත.
අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය කළුතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි. මෙවැනි ආකාරයෙන් නන්නාදුනන කාන්තාවන් සමගින් ඇසුරු කර අමාරුවේ වැටුනු දහස් සංඛ්‍යාත මිනිසුන්ට අවසානයේ මුදලුත් නැත. සැනසීමකුත් නැත.
(එඩ්.අස්ලම් – අරුණ)