Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මියයන්න පෙර කපිල චන්ද්‍රසේනට ලැබුණු අවසන් උපදෙස ගැන ඔහුගේ නීතිඥයන්ගෙන් අනාවරණයක්

13 hours ago

අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ජීවිතක්ෂයට පත්වීමට පෙර, ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් වී තිබූ අවස්ථාවේදී, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ ජංගම දුරකථනය හරහා ඔහුව සම්බන්ධ කරගෙන වහාම අධිකරණයට බාර වී සිදුවූ සියල්ල ප්‍රකාශ කරන්න යැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති නීතිඥවරයා මේ බව අනාවරණය කළේ කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ ඊයේ (05) පැවැති වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි ලබාදෙමින්.

මෙම සිද්ධියට අදාළව 19, 20 සහ 23 වැනි සාක්ෂිකරුවන් වන ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා, නීතිඥ උදාර මුහන්දිරම් සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් කුමාරසිරි බණ්ඩාර සිලෝගම යන මහත්වරුන් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන් අතර, වැඩිදුර සාක්ෂි විභාගය ලබන 09 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත ලාල් මහතා විසින් සාක්ෂි මෙහෙයවීම සිදු කරනු ලැබුවා.

අධිකරණය හමුවේ සාක්ෂි දුන් 20 වැනි සාක්ෂිකරු වන ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කියා සිටියේ කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් නොමැති  බවයි.

එමෙන්ම  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩුවේ පළමු සැකකරු වූ කපිල වෙනුවෙන් තමන් පෙනී සිටි බව ඔහු සඳහන් කළා.  

මැයි 05 වන දින සැකකරුට ලක්ෂ 5ක මුදල් ඇප, ශරීර ඇප දෙකක් සහ විදේශ ගමන් තහනමක් පැනවූ බවත්, ඇපකරුවන්ට ග්‍රාම සේවා සහතික තිබිය යුතු බවට මහේස්ත්‍රාත්වරයා එදින නියෝග කර තිබූ බවත්  නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පවසනවා.

එම අවස්ථාවේදී ඇපකරුවන් සතුව ග්‍රාම සේවා සහතික නොතිබූ බැවින්, පසුව ඒවා ඉදිරිපත් කරන තෙක් ඇප මුදාහරින ලෙස කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළ බව ඔහු සඳහන් කළා.

පසුව සිරමැදිරිය අසලදී කපිල චන්ද්‍රසේන මහතාට ඇප කොන්දේසි පැහැදිලි කර දී, ඉදිරි කටයුතු කනිෂ්ඨ නීතිඥ උදාර මුහන්දිරම් මහතාට පැවරූ බවත්, මැයි 06 වන දින කපිල ඇප ලබා නිවසට පැමිණි බව තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

කෙසේවෙතත් එදින සවස කනිෂ්ඨ නීතිඥවරයාගෙන් කපිලගේ ඇප ප්‍රතික්ෂේප වී ඇති බව දැනගත් බවත්, මැයි 07 වැනිදා වෙනත් අයෙකු ඇප තැබීමට එන බවට ලැබුණු ඇමතුමකට අනුව තමන් උපදෙස් දුන් බවත් ඔහු පැවසුවා.

පසුව සැකකරුට නැවත වරෙන්තු නිකුත් කර ඇති බව මාධ්‍යයෙන් දැනගෙන අධිකරණයට ඉදිරිපත් වන ලෙස කපිලට දැනුම් දුන් බව පැවසූ , නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා,  එදින පස්වරු 7.00 ට පමණ අරවින්ද ද සිල්වා මහතා දුරකථනයෙන් අමතා උද්ගත වූ ප්‍රශ්නය පැවසූ විට තම කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම් දුන් බව කියා සිටියා.

ඉන් පැයකට පමණ පසු අරවින්ද ද සිල්වා මහතා, ඔහුගේ බිරිඳ සහ ඇප තැබීමට පැමිණි තවත් පිරිසක් තම කාර්යාලයට පැමිණි බවත්, එහිදී අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ ජංගම දුරකථනය හරහා කපිල චන්ද්‍රසේන මහතා අමතා වහාම අධිකරණයට බාර වී සිදුවූ දේ පවසන ලෙස තමන් උපදෙස් දුන් බවත් ජනාධිපති නීතිඥවරයා සාක්ෂි දෙමින් වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම සිද්ධියට අදාළ 19 වැනි සාක්ෂිකරු වූ නීතිඥ උදාර මුහන්දිරම් මහතා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ, ජනාධිපති නීතිඥවරයාගේ උපදෙස් මත තමන් ක්‍රියා කළ බවයි.

අධිකරණය විසින් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3ක් සහ ලක්ෂ 5ක මුදල් ඇපයක් නියම කර තිබූ බවත්, මුලින් ග්‍රාම සේවක සහතික නොමැති වීම නිසා ඇප තැබීමට නොහැකි වූ බවත් ඔහු පැවසුවා.

පසුව ඉන්දික නැමැත්තෙකු දුන් ඇමතුමකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගිය විට ඇපකරුවන් 4 දෙනෙකු පැමිණ සිටි අතර, ඉන් එක් අයෙකුගේ සහතිකය පැරණි එකක් වූ බැවින් අනෙක් තිදෙනාගේ සහතික රෙජිස්ට්‍රාර්වරියට භාර දුන් බව නීතිඥ උදාර මුහන්දිරම් මහතා සඳහන් කළා.

ඉන් එක් අයෙකුට පමණක් ඇප තැබීමට අවසර ලැබුණු අතර, අනෙක් දෙදෙනාගේ සහතිකවල තිබූ ගැටලු නිසා ඔවුන් ඇප තැබීමට සුදුසු නොවන බව දැනුම් දුන් බව ඔහු කියා සිටියා.

එමෙන්ම  මැයි 07 වැනිදා සවස කපිල දුන් ඇමතුමකට අනුව ජනාධිපති නීතිඥවරයා දැනුවත් කර පසුව උපදෙස් දීමට සිතූ බව පැවසූ උදාර මුහන්දිරම් මහතා, පෙන්වාදෙන්නේ කාර්යාලයේ පැවැති සාකච්ඡාවට අරවින්ද සහ බිරිඳ පැමිණියද කපිල පැමිණ නොසිටි බවත්, තමන් කපිල සමඟ අදහස් හුවමාරු නොකළ බවයි.

මීට අමතරව, සාක්ෂි ලබා දුන් කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් කුමාරසිරි බණ්ඩාර සිලෝගම මහතා කියා සිටියේ, අරවින්ද ද සිල්වා මහතා තම පෞද්ගලික ජංගම දුරකථනයට අමතා තම නිවසේ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සිටින බව දැනුම් දුන් බවයි.

ඒ අනුව එදින උදෑසන 8.42 ට පමණ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එම මහල් 3ක නිවස පරීක්ෂා කිරීමට ගිය බව ඔහු පැවසුවා.

නිවසේ පළමු මහලේ වම්පස කාමරයක මෙම සිදුවීම සිදුව තිබූ අතර, එහි යන විට අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිඳ, නීතිඥ ප්‍රියන්ත සහ ඩර්ඩන්ස් රෝහලේ වෛද්‍යවරිය ඇතුළු කාර්ය මණ්ඩලය එහි සිටි බවත්, අරවින්දගේ මව වන රාණි ද සිල්වා මහත්මිය සහ ඇයගේ උපස්ථායකවරිය බිම් මහලේ කාමරයක සිටි බවත් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

ඔහු පවසන්නේ, කාමරයේ දොර විවෘතව තිබූ අතර, එහි තිබූ පුටුවක් මත පුද්ගලයෙකුගේ හිස තබාගෙන සිටින අයුරු දක්නට ලැබුණු බවයි.

ඔහුගේ ගෙලෙහි ලා නිල් පාට පටියක් සිරවී තිබූ අතර එහි පිටුපස කොටස මැහුම්වලින් ගැලවී තිබූ බවත් ස්ථානාධිපතිවරයා කියා සිටියා.

එම පටියට සමාන කොටසක් නාන කාමරයේ දොරෙහි උඩ කොටසට තද වන සේ වසා තිබූ අතර එහි කැබැල්ලක් එළියට එල්ලෙමින් තිබූ බව නිරීක්ෂණය වූ බව පොලිස් ස්ථානාධිපතිවරයා පවසනවා.

එහි සිටි ලක්ෂානි ලියනගේ නැමැති වෛද්‍යවරිය පරීක්ෂා කර ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව දැනුම් දුන් බව ඔහු සඳහන්  කළා.

කාමරයට සහ නාන කාමරයට ඇතුළු වීමට තිබුණේ එක් දොරක් පමණක් බව පැවසූ පොලිස් ස්ථානාධිපතිවරයා කියා සීටියේ, නාන කාමරයට වෙනත් කාමරයකින් ඇතුළු වීමට තිබූ දොර සහ කාමරයේ ජනේල ඒ වෙලාවේ වසා තිබූ බවත් පිටස්තර පුද්ගලයෙකු පැමිණි බවට තොරතුරු අනාවරණය නොවන බවයි.

පසුව ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, නිල සුනඛ අංශය සහ මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට කරුණු වාර්තා කළ බව ඔහු අධිකරණයට දැනුම්දුන්නා.

ඒ අනුව සිද්ධියේ සාක්ෂි අංක 25 සහ 26 යන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විභාගය මීළඟ නඩු දිනයට කල් තැබුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *